ලැයිම් කාමරේ කාන්තා මළසිරුරක් - ඔළුවටයි මුහුණටයි දරුණු පහරවල් [PHOTO]
අගලවත්ත පොලිසිය වාර්තා කර ඇත්තේ මහගම තිරිවානකැටියවත්තේ ලැයිම් කාමරයක් තුළ මියගොස් සිටි 76 හැවිරිදි කාන්තාවගේ මරණය හිස්කබලට හා මස්තිෂ්කයට හානිවීමෙන් සිදුවූවක් බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෙද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇති බවයි.
මෙසේ මිය ගොස් තිබුණේ මහගම, තිරිවාණකැටියවත්තේ ඉස්ටෝරු ලැයිමේ පදිංචිව සිටි පෙරුමාල් ලෙච්චමී නම්වූ අයෙක් වන අතර ලැයිම් කාමරයක් තුළ කාන්තාවක් මිය ගොස් සිටින බවට ඉකුත් 31 වන දින රාත්‍රී 7.30 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.
ලැයිම් කාමරයේ මුළුතැන්ගෙයි උඩු බැලි අතට වැටී සිටි ඇයගේ හිසෙන් ලේ ගලා ගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇයගේ සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට යවා ඇත.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ඇයගේ හිස පිටුපස යම් පුෂ්ටයක තදින් වැදී ඇති බවත්, මුහුණ ප්‍රදේශයට යම් බර හැඩයක් ඇති ආයුධයකින් පහරදීමක් සිදු කර ඇති බවත්, හිස් කබල , මස්තිෂ්කයේ හා මුහුණ ප්‍රදේශයේ තුවාල ඇති බවත් පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් වන බවයි.
ඒ අනුව මෙම ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. වී. ඩී. එන්. පී. විජේගුණරත්නගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.