ඊළඟ කන්නයේ වගාවන් අනතුරේද? ‘එල්-නිනෝ’ බලපෑම ගැන රජයේ සූදානම මෙන්න
ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල්-නිනෝ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කරමින්, ඒ සඳහා අවශ්‍ය පෙරසූදානම් සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එල්-නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව රජය මේ වන විටත් අවධානය යොමු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර, අමාත්‍යාංශ මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව ඔහු පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එල්-නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් පුරෝකථන නිකුත් කර ඇති බැවින්, ඒවා සැලකිල්ලට ගනිමින් ඉදිරි සැලසුම් සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, එළැඹෙන වසර තුළ ඇතිවිය හැකි කාලගුණික හා පාරිසරික අභියෝගයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කල්තබා සැලසුම් කරමින් සිටින බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ මෙවැන්නක්
'' රජයක් හැටියට අපි මේකෙන් එන්න පුළුවන් බලපෑම විශේෂයෙන් කෘෂිකර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදනයට ඒ වගේම අපේ ජල සම්පත ආදී ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කරලා තියෙනවා. මේ වන විටත් ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. ඒ වගේම අමාත්‍යවරු තම තමන්තේ අමාත්‍යාංශවල මෙවැනි තත්ත්වයක් ලබන ජූලි - අගෝස්තු කාලවල සහ අනිත් පැත්තෙන් ඊළඟ අවුරුද්දේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා පූර්ණ වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැන් සාකච්ඡා කරමින් සැලසුම් සකස් කරමින් ඉන්නවා. විශේෂයෙන් ඊළඟ කන්න වගා කිරීමේදී කොහොමද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන එක. මොකද මේකෙදි දැනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු මීට සම්බන්ධ කණ්ඩායම් මේ ඇති විය හැකි ස්වභාවය පිළිබඳය යම් පුරෝකථනය නිකුත් කරලා තියෙනවා. මේවාත් සැලකිල්ලට අරගෙන තමයි ඉදිරි සැලසුම් සකස් කරන්නේ. මේකේ හානිය අවම කරගෙන අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු අවශ්‍ය වෙලාවේදි ගන්න තමයි අපි කටයුතු කරන්නේ."