රට පුරා රන් මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට - පොලිසියෙන් හෙළිදරව්වක්
රන්මාල කොල්ලකෑම් ඇතුළු දේපළ සොරකම් රැසකට සම්බන්ධව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 210ක්ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන, කිතුල්වල ඉහළ, මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල රන්මාල කොල්ලකෑම් ඇතුළු දේපළ සොරකම් රැසකට සම්බන්ධව අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බවයි.
එමෙන්ම මෙම අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක්, කඩුවක් සහ කොල්ලකන ලද රන්මාලවලට අදාළ රන්ගුලි 09ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.