ඛේදවාචකයක් - තෙල් බවුසරයක් පෙරළී ගිනි ගනී - 31ක් ජීවිතක්ෂයට, මළසිරුරු හඳුනා ගැනීමට DNA පරීක්ෂණ
ඊජිප්තුවේ අගනුවර වන කයිරෝවේදී ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රවාහනය කරමින් තිබූ ටැංකි රථයක් පෙරළී ගිනි ගැනීමෙන් පුද්ගලයින් අවම වශයෙන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.
පසුගිය 25 වැනිදා කයිරෝවේ ගීසා ආණ්ඩුකාර ප්‍රදේශයට අයත් ඉම්බාබා දිස්ත්‍රික්කයේ අල්-වරක් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ ටැංකි රථය මාර්ගයේ මැද පිහිටි බාධකයක ගැටී පෙරළී යාමත් සමඟ පිපිරීමක් සිදුව ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
අනතුර හේතුවෙන් ඇති වූ ගින්නෙන් වාහන 27කට හානි සිදුව තිබේ.

සිද්ධිය සැලවීමත් සමඟ ගිලන් රථ 39ක් අනතුර සිදු වූ ස්ථානයට යොමු කර ඇති අතර, තුවාල ලැබූවන් කඩිනමින් අවට රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර, අනතුරින් මියගිය පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා DNA සාම්පල ලබාගන්නා ලෙස ඊජිප්තුවේ නීතිපතිවරයා නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.