වෛභව් සූර්යවංශිගේ පිත්තට NVIDIA චිප් එකක් සවි කරලද? - අයිස්ලන්ත ක්‍රිකට්වල විහිළුව ලොව පුරා පැතිරෙයි
ආසියානු කුසලාන රයිසින් ස්ටාර්ස් 2026 තරගාවලියේදී ඉන්දීය 'A' කණ්ඩායම වෙනුවෙන් වාර්තාගත පිතිහරඹයක නිරත වූ 15 හැවිරිදි වෛභව් සූර්යවංශි පිළිබඳව අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ හාස්‍යජනක සටහනක් මේ වන විට කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.
එහිදී ලොව ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන NVIDIA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං ද සම්බන්ධ කර ගනිමින් අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය මෙම සටහන පළ කර තිබීම විශේෂත්වයක්.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය 'A' කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගයකදී වෛභව් සූර්යවංශි පන්දු 53කදී ලකුණු 204ක් රැස් කිරීමට සමත් වුණා. එම ඉනිමට දැවැන්ත හයේ පහර 28ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වූ අතර, පන්දු 52කදී ද්විත්ව ශතකය සම්පූර්ණ කිරීමට ද ඔහු සමත් වුණා.

ඒ අනුව ලිස්ට් A ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කරමින් ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමට ද ඔහු මඟ විවර කළා.
මෙම විශිෂ්ට පිතිහරඹය පිළිබඳව අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, "අඟහරුවාදා ජෙන්සන් හුවාං නැවතත් NVIDIA ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීමත්, බදාදා වෛභව් සූර්යවංශිගේ පිත්තේ තිබූ AI චිප්ස් නැවත ක්‍රියාත්මක වීමත් අහම්බයක් නොවේ" යනුවෙනුයි.
සූර්යවංශිගේ පිතිහරඹයේ වේගය සහ ප්‍රහාරාත්මක බව NVIDIA සමාගමේ කෘත්‍රිම බුද්ධි චිප්ස්වලට සම්බන්ධ කරමින් කළ මෙම විහිළුව ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා.
මේ අතර, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සෞරව් ගංගුලි ද මෙම යොවුන් පිතිකරුගේ දක්ෂතා අගය කරමින් ඔහු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ලෙස හඳුන්වා තිබෙනවා.
වයස අවුරුදු 15ක් වන සූර්යවංශි මේ වන විටත් IPL තරගාවලියේදී ද දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති බව පෙන්වා දුන් ගංගුලි, ඔහුට ලැබෙන අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිටින බව සඳහන් කළා.
එමෙන්ම තරුණ ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩකයන් සමඟ සංසන්දනය නොකර ඔහුට නිදහසේ ක්‍රීඩා කිරීමට සහ දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව ද හිටපු ඉන්දීය නායකයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.