දෙවන එලිසබෙත් රැජින ගේ අවසන් ගමන.. ( VIDEO )

By Sithumi Sep 19, 2022 05:10 PM GMT
Sithumi

Sithumi

Report

දශක 07 කට ආසන්න කාලයක් මහ බි්‍රතාන්‍ය ඇතුලු රටවල් රැසක රාජ්‍යත්වයේ කිරුළ දැරූ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහරැජිණගේ දේහය ඇය වඩා ප්‍රිය කළ වන වින්ඩ්සර් මාළිගය වෙත රැගෙන යාම මේ වන විට සිදුවනවා.

ඊයේ දින ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකාවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වුණා.

එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.



ඒ රාජකීය අවමංගල්‍ය උත්සවයේ අවසන් දේව මෙහෙය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමෙන් අනතුරුවයි. දෙවන එලිසබෙත් මහරැජිණ පසුගිය 08 වනදා ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී අභාවප්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසුවුණා.

දේහය රාජකීය සම්ප්‍රදාය අනුව බකිංහැම් මාලිගයේ සහ එරට පාර්ලිමේන්තුව වන වෙස්මිනිස්ටර් ශාලාවේ රාජකීයන්ට, රාජ්‍ය නායකයින්ට සහ ජනතාවට අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තැබීමෙන් අනතුරුවයි මෙරට වේලාවෙන් අද පස්වරුවේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට රැගෙන එනු ලැබුවේ.

ඒ බි්‍රතාන්‍ය රාජකීය සම්ප්‍රදාය අනුව විශේෂ අවමංගල පෙරහරකින්. ඊට තුන්වන චාල්ස් රජු , විලියම් සහ හැරී කුමරු ඇතුලු රාජකීය පවුලේ සාමාජිකයන් ද එක්වුණා. රාජ්‍ය ප්‍රධානීන් සහ විදෙස් නායකයන් 500 ක් ඇතුලු 2,000 ක් පමණ රාජකීය අවමංගල්‍යය උත්සවය සඳහා ආරාධනා ලැබ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණ සිටියා.

අවසන් දේව මෙහෙය පවත්වනු ලැබුවේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයාගේ ප්‍රධානත්වයෙන් වන අතර කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බිද ඊට එක්වුණා. අවමගුල් දේව මෙහෙයේ පාඨ කියවීම බි්‍රතාන්‍ය අගමැතිනි ලීස් ට්‍රස් විසින් සිදුකළ අතර එහි සංගීතයට රැජිණගේ රාජාභිෂේකය අවස්ථාවේ වාදනය කළ ගීතයක්ද ඇතුළත් වුණා

. අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැති අතර දේහය රැජිණ වඩාත් ප්‍රිය කළ මාලිගය වන වින්ඩ්සර් මාළිගය වෙත රැගෙන යාම සඳහා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිට ලන්ඩනයේ සුප්‍රද්ධ ආරුක්කුව වෙත රැගෙන එනු ලැබුවා. එහිදී රැජිණගේ දේහය අවමංගල්‍ය රථයක තැන්පත් කිරීමෙන් පසු රජ පවුලේ සාමාජිකයින් සමග වින්ඩ්සර් මාලිගය වෙත රැගෙන යාම මේ වන විට සිදුවන්නේ මාර්ගය දෙපස රැදී සිටින දහස් සංඛ්‍යාත බි්‍රතාන්‍ය වැසියන්ගේ ආචාරය මධ්‍යයේයි. වින්ඩ්සර් මාළිගයේ රැජිණගේ දේහය පැයක කාලයක් තැන්පත් කර තැබීමට නියමිත අතර එම කාලය තුළ රැජිණ වඩාත් ප්‍රියකළ ගීත සහ සංගීත කණ්ඩ වාදනය කිරීමට නියමිතයි.

ඇයට කුඩා කළ පියානෝ වාදනය ඉගැන්වූ සර් විලියම් හෙන්රි හැරිස් විසින් නිර්මාණය කළ සංගීත කණ්ඩද ඊට ඇතුළත්. වින්ඩ්සර් මාළිගයේ පැයකට ආසන්න කාලයක් දේහය තැන්පත් කර තැබීමෙන් පසු එහි තිබෙන ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති රාජකීය සොහොන් ගැබ තුළ රැජිණගේ දේහය තැන්පත් කිරීමට නියමිතයි.

ඒ, රැජිණගේ ස්වාමිපුරුෂයා වන පිලිප් ආදිපාදවරයාගේ දේහයද සමඟයි. රැජිණ අභාවප්‍රාප්ත වන තෙක් පිලිප් ආදිපාදවරයාගේ දේහය ද ආරක්ෂිතව තැන්පත් කර තිබූ අතර, ඒ අනුවයි රාජකීය යුවළගේ දේහයන් රාජකීය සොහොන් ගැබ තුළ තැන්පත් කරනු ලබන්නේ.

මෙලෙස රාජකීය සොහොන් ගැබ විවෘත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වීම ද විශේෂත්වයක්. එම රාජකීය සොහොන් ගර්භයේ රැජිණගේ දෙමාපියන් වන හයවන ජෝර්ජ් රජුගේත් , එලිසබෙත් මව් රැජිණගේත් , සහෝදරිය වන මාග්‍රට් කුමරියගේත් ඡදේහයන් තැන්පත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.