රුපියල් මිලියන 100ක මත්ද්‍රව්‍ය ජාවාරම් දේපළ පොලිස් අත්අඩංගුවට- නීතිවිරෝධී වත්කම් කොට්ඨාසයෙන් හදිසි පියවරක්
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන මිලදී ගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් දේපළ කිහිපයක් පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්හිටුවා තිබේ.
පොලිසිය සඳහන් කළේ, 2020 මැයි මාසයේදී ජීප් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම දේපළ පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි.
එම අවස්ථාවේදී සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව සිදුකළ විමර්ශනවලදී පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි එක් සැකකරුවෙකු විසින් විශාල ඉඩම් කොටස් දෙකක් සහ දෙමහල් නිවාස දෙකක් මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අතර කඩවත ප්‍රදේශයේ පර්චස් 19ක ඉඩමක් සහ කැලණිය ප්‍රදේශයේ පර්චස් 18ක ඉඩමක් ඇතුළත් වන අතර, එක් එක් දේපළෙහි වටිනාකම රුපියල් මිලියන 50ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ආදායම යොදාගනිමින් අදාළ සැකකරු මෙම දේපළ මිලදී ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.
ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් අධිකරණ නියෝගයක් මත මෙම දේපළ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගෙන තිබේ. වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2026 සැප්තැම්බර් 10 වැනිදා සිට දින 14ක කාලයක් සඳහා අදාළ වත්කම් අත්හිටුවීමට නියෝග කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.