ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක නි. ඇමතිගෙන් ප්‍රකාශයක්
රටතුළ ජාතික ආරක්ෂාව දැනටමත් උපරිමයෙන් තහවුරු කර ඇති බවත්, වර්තමානයේ රජයේ අවධානය යොමුව ඇත්තේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ බන්ධනාගාර ගැටුම සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බන්ධනාගාර තුළ ඉකුත් දින කිහිපය තුළ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇති බවයි.
එසේම ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින්ද විශේෂ ප්‍රකාශ සිදුකර ඇති බවත් ඔහු අවධාරණය කළා.
එසේම එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව විශේෂ විමර්ශන සහ පරීක්ෂණ ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"දින තුනක් ඇතුළත බන්ධනාගාර හතරක මෙවැනි සිදුවීම් වාර්තා වීම පිටුපස විවිධ හේතු තිබිය හැකියි. ඒ පිළිබඳව ඊයේ සවස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. දැනට පවතින විමර්ශන කටයුතු නිසා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම මේ මොහොතේ සුදුසු නැහැ," යනුවෙන්.
ඒ අනුව රටේ මුහුදු සීමාව ඇතුළු සමස්ත දිවයින පුරාම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව අවධාරණය කළ අරුණ ජයසේකර මහතා, මහජන සාමය සහ නීතිය පවත්වාගෙන යාමට ඕනෑම අවස්ථාවක පොලිසියට සහාය වීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින බවත් සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය උපරිම විශ්වාසයකින් යුතුව කටයුතු කරන බවයි.