බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ රැස්වීමකදී පවසා සිටියේ, තේ වතු ඉඩම් වතු කම්කරුවන්ට බෙදා දී ඔවුන්ගේ ආර්ථික තත්වය ඉහළ නංවන බවයි. දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසුවේ, ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ඉටු කළහොත් තමන්ගේ පූර්ණ සහය ලබාදෙන බවයි.
මෙම ප්‍රකාශය ඒ මහතා සිදු කළේ හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්වය ඉහළ නැංවීමට තමන්ද මීට පෙර මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, එවැනි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් වී වතු සමාගම් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතු බවත්ය.
වත්මන් රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකර ජනතාව දුක් විඳින බව ජනතාවට වැටහී ඇති බවත්, මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය බහුතර පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගනු ඇතැයි ඔහු පැවසීය.
හැටන් නගරයේදී, කදුරට ජනතා පෙරමුණේ නායක හා දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසුවේ,
“ජනාධිපතිතුමා තලවකැලේදී තේ වතු ඉඩම් වතු කම්කරුවන්ට බෙදාදෙන බව කියලා තියනවා. මේක අපි වසර 10කට පෙර යෝජනා කළ දෙයක්. ඉන්දියානු රජයේ ආධාරවලින් පමණක් වතු කම්කරුවන්ගේ නිවාස ගැටලුව විසඳන්න බැහැ. ජනාධිපතිතුමා සහය දෙනවා කියන රටවලින් උපකාර ලබාගෙන නිවාස ඉදිකළොත් එම ගැටලුවට විසඳුම් හමුවෙයි. ජනාධිපතිතුමා කියනවා වතුකරයේ තරුණයන් කොළඹ නිවෙස්වල හෝ හෝටල්වල වැඩට යනවා කියලා. ඒක නවත්වන්න වැඩපිළිවෙළක් ආරම්භ කරනවා කියනවා. නමුත් එක එක තැන්වල එක එක විදිහට කතා කරලා, බොරු පොරොන්දු දීලා රට පාලනය කිරීමට යනවා” යනුවෙනි.
