සම්මානලාභී සිනමා නිළි ඩයන් කීටන් යන්නම යයි
සිය විය 79කට පැමිණි ඔස්කාර් සම්මානලාභී සිනමා තාරකාවක් වන ඩයන් කීටන් කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ. 'ඇනී හෝල්' සහ 'ද ගොඩ්ෆාදර්' වැනි සම්බාව්ය චිත්‍රපට හරහා දශක පහකට වැඩි කාලයක් තුළ ලොව පුරා සිනමා ලෝලීන්ගේ ආදරය දිනාගත් ඇගේ වියෝව හොලිවුඩයට මෙන්ම ගෝලීය සිනමා කර්මාන්තයට ද දැඩි කම්පනයක් ඇති කර තිබේ.
'පීපල්' සඟරාව විසින් ඇගේ වියෝව තහවුරු කර ඇති අතර, මරණ හේතුව මෙතෙක් හෙළිවී නොමැත. පසුගිය මාස කිහිපය තුළ කීටන්ගේ සෞඛ්‍ය තත්ත්වය "ඉතා හදිසියේ" පිරිහී ගිය බවත්, ඇගේ බොහෝ මිතුරන් පවා "සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව සම්පූර්ණයෙන්ම දැනුවත් නොවූ" බවත් වාර්තා වේ.
1977දී 'ඇනී හෝල්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනාගෙන, ඇය සිනමාවේ නොමැකෙන සලකුණක් බවට පත්වූවාය. හිටපු පෙම්වතා වූ වුඩී ඇලන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම චිත්‍රපටය බොහෝ දුරට ඇගේම ජීවිතය මත පදනම් වූවකි. ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ 'ද ගොඩ්ෆාදර්' චිත්‍රපට මාලාවේ මයිකල් කෝලියෝන්ගේ බිරිඳගේ චරිතය ඇගේ සිනමා දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. 'රෙඩ්ස්' (1981), 'මාර්වින්ස් රූම්' (1996) සහ 'සම්තින්ග්ස් ගොටා ගිව්' (2003) යන චිත්‍රපටවල රංගනයන් සඳහාද ඇය ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූවාය.
තොප්පි, ගෙල ආවරණය කළ ඇඳුම් සහ පුළුල් කලිසම් වැනි ඇගේ අනන්‍ය ඇඳුම් විලාසිතාව, තමා ගැනම උත්ප්රාසයෙන් කතා කිරීමේ හැකියාව සහ හාස්‍ය රංගන කුසලතාව ඇයව අන්‍යයන්ගෙන් සුවිශේෂී කළේය. 'බේබි බූම්', 'ෆාදර් ඔෆ් ද බ්‍රයිඩ්' සහ 'ද ෆස්ට් වයිව්ස් ක්ලබ්' වැනි අතිශය ජනප්‍රිය ප්‍රහසන චිත්‍රපට රැසකට ඇය දායක වූවාය. ඇගේ අවසන් චිත්‍රපටයක් ලෙස සැලකෙන්නේ 2023දී නිකුත් වූ 'බුක් ක්ලබ්: ද නෙක්ස්ට් චැප්ටර්' ය.
පෞද්ගලික ජීවිතයේදී ඇය ඩෙක්ස්ටර් නම් දියණියක් සහ ඩියුක් නම් පුතෙකු දරුකමට හදාගත්තාය. "මාතෘත්වය මා සම්පූර්ණයෙන්ම වෙනස් කළා. එය මා මෙතෙක් ලැබූ වඩාත්ම නිහතමානී අත්දැකීමයි," ඇය වරක් පැවසුවාය. අල්ෂයිමර් රෝගයෙන් පෙළුණු තම මව සහ මානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩාවිඳි සහෝදරයා වෙනුවෙන් ඇය කැපවීමෙන් කටයුතු කළාය. 2017දී ඇමරිකානු චිත්‍රපට ආයතනය විසින් ඇයට ජීවිතයේ එක් වරක් පිදෙන සම්මානයක් පිරිනමන ලදී. ඇගේ බාල සහෝදරියන් දෙදෙනා වන ඩොරී සහ රොබින් ද, දරුවන් දෙදෙනා වන වයස අවුරුදු 29ක ඩෙක්ස්ටර් සහ 25ක ඩියුක් ද ඇගේ වියෝවෙන් ශෝකයට පත්ව සිටිති.