වෛද්‍යවරුන්ගෙන් දෙමව්පියන්ට විශේෂ ඉල්ලීමක් - දරුවන්ට උණ රෝගය පවතීනම් ප්‍රමාද නොවන්න
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ උණ රෝගය වැළඳී ඇති ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මව්පියන් පියවර ගතයුතු බවත් දරුවාට නිසි ප්‍රතිකාර ලබා දීමට ඇති අවස්ථාව අහිමිකරමින්, ඔවුන්ගේ ජීවිත අනවශ්‍ය ලෙස අවධානමට ලක් නොකරන ලෙසත්ය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු රෝගය වැළඳුන ළමුන් 50දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවත් ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර, මෙම තත්ත්වය මීට වඩා වර්ධනය වුවහොත් රෝහලේ ධාරිතාවය පිළිබඳ ද ගැටලු මතුවිය හැකි බවත් ඔහු පවසයි. වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසා සිටියේ එබැවින් තම දරුවන්ට උණ රෝගය පවතින්නේ නම් ප්‍රමාද නොවී ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.
එමෙන්ම එහිදී අදාළ වෛද්‍යවරුන් විසින් අවශ්‍ය වුවහොත් පමණක් දරුවාව රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කරනු ඇති බවත් දුර බැහැර ප්‍රදේශවල සිට සෘජුවම කොළඹ ළමා රෝහල වෙත පැමිණීම සිදු නොකරන ලෙසත් ඔහු පවසයි. එමෙන්ම නිවෙස්වල රැඳී සිටිමින් අත්බෙහෙත් කිරීම නිසා දරුවාට ප්‍රතිකාර කිරීමට ඇති කාලය අහිමිව යන අතර ස්වයං ප්‍රතිකාරවලින් වැළකී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටී.
එහිදී අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා, ''දිනකට අපේ රෝහලේ සිටින ඩෙංගු සම්බන්ධ රෝගීන් 50ක ප්‍රමාණයක්. ඒ අතරින් අසාධ්‍ය රෝගීන් ඉන්නේ හතරෙන් එකක් පමණයි. නමුත් මේ තත්ත්වය මීට එහාට වර්ධනය වුණොත් අපිට ධාරිතාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම අම්මලා තාත්තලාට මතක් කරනවා තමන්ගේ දරුවන්ව උණ රෝගය සම්බන්ධයෙන් ළඟම ඇති රජයේ රෝහලට ගිහිල්ලා ඒ වෛද්‍යවරුන්ට පෙන්වන්න. ඒ වෛද්‍යවරු අවශ්‍ය වුවහොත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමු කිරීම් කරයි, ඔබගේ දරුවාව රැගෙන එන්න කියලා. එහෙම නැත්නම් ඒ ආයතනයට ඇතුළු කරගත්තට පස්සේ රෝගියාව යොමු කරයි රිජ්වේ ආර්යා ළමා රෝහලට. විශේෂයෙන්ම කියන්න ඕනේ දුර ප්‍රදේශවල ඉඳලා තමන්ගේ බබාව අරගෙන රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණිය යුතු නෑ. බොහෝ මරණවලට හේතුව තමයි රෝහලට පැමිණීම ප්‍රමාද වීම. පැය 24කට වඩා පවතින උණ රෝගය තියෙනවා නම් වෛද්‍ය අවවාද ලබා ගැනීම සුදුසුයි. ගෙදර දවස් ගණන් ඉඳලා අත්බෙහෙත් කරලා තමන්ගේ වටිනා කාලය සහ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට තිබෙන කාලය නාස්ති නොකර ඉතා ඉක්මනින් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්, රජයේ වෛද්‍යවරයෙක් ගාවට රැගෙන එන එක ඉතාම වැදගත්." මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකින්ම තවදුරටත් සැලකියයුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. එමෙන්ම එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ මේ දක්වා සිදුව ඇති ඩෙංගු මරණ 61න් 47ක්ම කාන්තාව වන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය, "තවදුරටත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වෙන්නේ. මේ මරණවලින් 47 දෙනෙක්ම කාන්තාවන්. පිරිමි පුද්ගලයින් 17ක් මියගිහින් තියෙනවා. මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා තමන්ට උණ තියෙනවා නම් මේ දවස්වල ඩෙංගු කියලා සැක හැර දැනගැනීම කළ යුතුයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හරහා. යම්කිසි විදියකින් වෛද්‍යවරයා ඔබට නියම කරනවා නම් රුධිර පරීක්ෂාවන් කරගන්න, ඒ රුධිර පරීක්ෂාවන් කරගෙන එදිනම වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. මේ රෝගය ඇත්තටම සුව කළ හැකි රෝගයක්. ඒ නිසා සංකූලතාවලට නොයා රෝගය සුව කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා."