ඩයනාගේ විදෙස් ගමන් තහනම් කළ හේතුව හෙළිවෙයි
අද දින රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගෙ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝගයක් නිකුත් කරා. නීතිඥවරුන් සිදුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා සිදු කළේ.
එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් කර සිටියේය.
එසේ තිබියදී ඩයනා ගමගේ මහත්මිය අද රාත්‍රියේ රටින් පළායෑමට නියමිත බවට නීතිඥ ප්‍රජාව වෙත ඉතා විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවත් එසේ ඇය විදේශගත වුවහොත් එම පරීක්ෂණය සම්පූර්ණයෙන්ම යටපත් වනු ඇතැයි ද නීතිඥ වන්නිනායක මහතා පෙන්වා දී තිබුණි.
එබැවින් කෙටි කාලයක් සඳහා ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥ වන්නිනායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණි. මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා සඳහන් කළේ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් තොරව මෙම නියෝගය නිකුත් කිරීම අපහසු බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ වන්නිනායක මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැමිණෙන විට ඩයනා ගමගේ මහත්මිය විදේශගතවී සිටිනු ඇති බවය. එවිට මෙම නඩු කටයුත්තෙන් ප්‍රයෝජනයක් නොවනු ඇති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර ඇත.
එබැවින් කෙටි කාලයකට තාවකාලික විදේශ ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා සිටි නීතිඥ වන්නිනායක මහතා, අවශ්‍ය නම් ඇයට අධිකරණයට පැමිණ කරුණු දක්වා එම විදේශ ගමන් තහනම ඉවත් කරගැනීමට හැකියාව තිබෙන බවත් සඳහන් කර තිබේ.
එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නීතිඥවරුන්ට ප්‍රකාශ කළේ මෙම කාරණය පිළිබඳව දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු සනාථ කරන ලෙසය.
ඒ අනුව නීතිඥ තුසිත ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් පදනම් කරගෙන නීතිඥ වන්නිනායක මහතා කරුණු ඉදිරිපත් කර ඇත. එම කරුණු සලකාබැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |