බිහිසුණු කාළගුණයෙන් ජීවිත 15 ක් අහිමි වෙයි.. (VIDEO)

Covid 19 Disarster
By Sithumi Nov 09, 2021 02:39 PM GMT
Sithumi

Sithumi

Report

දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය විසි හතර තුළදී පමණක් කුඩා දරුවන් ඇතුලුව පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. 

 කෑගල්ල - කෝඳාපොලුව ප්‍රදේශයේදී මාඔයේ ඔරු පැදීමට ගිය 18 හැවිරිදි තරුණයෙකු අද දහවල් ජීවිතක්ෂයට පත්වූ අතර, රඹුක්කන - දොඹේමඩ ප්‍රදේශයේ දී අද අලුයම පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි 36 හැවිරිදි මව, ඇගේ 8 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි තවත් ඥාති දියණියක් ජිවිතක්ෂයට පත් වුණා. 

 සිද්ධියෙන් බරපතල තත්ත්වයේ පසුවන 40 හැවිරිදි පියා කෑගල්ල රෝහලේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ නාය යාමෙන් මිය ගිය නිවැසියන්ට ඊයේ පස්වරුවේ ද එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබූ බවයි. 

එමෙන්ම අලව්ව වන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වුණා. අධික වර්ෂාවත් සමඟ බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වලට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 17 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93 ක පුද්ගලයින් 28,263 කට වැඩි සංඛ්‍යාවක් අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි. 

පසුගිය ඔක්තෝම්බර් 27 වනදා සිට මේ දක්වා දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් 12 දෙනාට අමතරව තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තද සුළං, ගල් පෙරළීම් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් නිවාස 802 කට අර්ධ හානි සිදුව ඇති අතර, පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 13 ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha