ඩෙංගු මරණ සංඛ්‍යාව 69ට නගී - ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 92,854 දෙනෙකු හඳුනාගෙන ඇත.
වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.95%ක්, එනම් රෝගීන් 49,163 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 19,778කි.
එය සමස්ත රෝගීන්ගෙන් 21.30%කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,433 දෙනෙකු (19.85%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,695 දෙනෙකු (7.21%) වාර්තා වී ඇත.
මේ අතර, මෙම වසරේ මාසිකව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් පසුගිය ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 29,964කි. අගෝස්තු මාසයේ ගත වූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,516 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ පවසන්නේ දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු මර්දන කටයුතු සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.