45-50 අයටත් හැදෙන 'ඩිමෙන්ෂියාව'- මොළයේ ස්නායු නීරෝගීව තබාගන්න විශේෂඥ වෛද්‍ය උපදෙස් මෙන්න
කායික මෙන්ම මානසික සුවය සඳහා මොළයේ සෞඛ්‍යය රැකගැනීම ඉතා වැදගත් කරුණක් වේ
විශේෂයෙන්ම මොළයේ ස්නායුගතව ඇතිවන රෝග බොහොමයක් බරපතල වේ
ඒ ඇතුළු කරුණු පිළිබඳ කැලණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුන්‍යා ලූක් මහත්මිය සදහන් කර තිබේ .
එතුමිය තව දුරටත් සදහන් කරනු ලබන්නේ මෙවන් අදහසකි
' විශේෂයෙන්ම ‘ඩිමෙන්ෂියාව’ හෙවත් මතකය අඩුවීම වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් 14කට වඩා තියෙනවා. ඒ වග ලෝක සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. ඩිමෙන්ෂියාව කියන්නේ වයසට ගියාම විතරක් හැදෙන රෝගයක් නෙමෙයි, වයස 45 – 50 කාණ්ඩවල අයටත් හැදෙන්න පුළුවන්. තවමීක්ෂද සණවලින් හෙළිවෙලා තියෙනවා ලෝකයේ විශාල පිරිසක් ස්නායු රෝගවලින් පෙළෙනවා කියලා. මේක එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. සමහර ස්නායු රෝග බෙහෙත් දීලා සුව කරන්න පුළුවන් වුණත්, අංශභාගය, ඩිමෙන්ෂියාව ආදි රෝග ඉතා දීර්ඝකාලීනව පවතිනවා. මේවා එකවර සුව කරන්න බැහැ. මේවා පුද්ගලයාගේ සහ සමාජයේ යහපැවැත්මට වගේම සෞඛ්‍ය සේවාවටත් ලොකු බලපෑමක් එල්ල කරනවා. වැදගත්ම දේ අඛණ්ඩව අලුත් දේ ඉගෙන ගැනීමයි. අපේ මොළය කියන්නේ හරියට ක්‍රියාශීලීව තියාගන්න ඕන පේශියක් (muscle) වගේ දෙයක්. පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර වුණා කියලා ඉගෙන ගැනීම නතර කරන්න හොඳ නැහැ. ජීවිත කාලය පුරාම නොදන්න අලුත් භාෂාවක්, සංගීත භාණ්ඩයක් හෝ අලුත් කුසලතාවක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරස් පද ප්‍රහේළිකා විසඳීම ආදිය වැදගත්. ඒ වගේම නිතර GPS බලන්නේ නැතුව යන්න ඕන පාර මතක තියාගෙන යන්න උත්සාහ කරන එකෙන් මොළයේ ස්නායු සෛල සක්‍රියව තියාගන්න ලොකු පිටිවහලක් ලැබෙනවා. ඒ වගේම නිදන්ගත රෝග නිසි ලෙස පාලනය කර ගැනීමත් වැදගත්. අපේ මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට නීරෝගි රුධිර සංසරණයක් අත්‍යවශ්‍යයි. අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ දියවැඩියාව ආදි තත්ත්වයන් මඟින් මොළයට රුධිරය ගෙනියන කුඩා රුධිර නාළ හිරවෙන්න හෝ හානි වෙන්න පුළුවන්. පෙනීම සහ ශ්‍රවණය ආරක්ෂා කරගැනීමත් අත්‍යවශ්‍යයි. අපේ මොළයට බාහිර ලෝකයෙන් දත්ත ලැබෙන්නේ ඇස්, කන් හරහායි.
ශ්‍රවණාබාධ හෝ පෙනීමේ දුර්වලතා තියෙද්දී මොළයට ලැබෙන සංඥා ප්‍රමාණය අඩු වෙනවා. එවිට මොළයේ යම් යම් කොටස් අක්‍රිය වෙන්න ගන්නවා. ඉතින් කන ඇසීමේ හෝ ඇස් පෙනීමේ අඩුවක් දැනුණු ගමන් වෛද්‍යවරයකු හමුවී කණ්ණාඩි පැලඳීම, ශ්‍රවණ ආධාරක භාවිත කිරීම ආදියට යොමුවීම මඟින් මොළය නිරන්තරයෙන් උත්තේජනය වෙන වග තහවුරු කරගන්න ඕනේ. අනෙක, මොළයට සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීමත් වැදගත්. සිරුරේ අනික් කොටස්වලට සිදුවන තුවාල සුව වුණත් මොළයට සිදුවන අනතුරු නිසා ස්නායු සෛලවලට දීර්ඝකාලීන බලපෑම් ඇතිවෙන්න පුළුවන්. කුඩා කාලයේ හෝ තරුණ වියේදී සිදුවන හිසේ අනතුරු පවා පසුකාලීනව ඩිමෙන්ෂියාව ඇති වීමේ අවදානම වැඩි කරනවා.
ඒ නිසා මෝටර් සයිකල් පදිද්දී අනිවාර්යයෙන්ම හෙල්මට් පැලඳීම, රථවාහනවල යද්දී සීට් බෙල්ට් පැලඳීම සහ ක්‍රීඩා කරද්දී හිස ආරක්ෂා කරගැනීම ආදිය ඉතා වැදගත්. දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම තොරවිය යුතුයි. දුම්වැටි භාවිතය කියන්නේ මොළයේ රුධිර නාළවලට ඍජුවම හානි කරන ප්‍රධාන සතුරෙක්. දුම්පානය නිසා මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම රුධිර නාළ ගණකම් වී හිරවීමට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසා ඩිමෙන්ෂියාව විතරක් නෙමෙයි, එක්වරම සිරුරේ පැත්තක් අප්‍රාණික වෙන අංශභාග තත්ත්වයත් හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.
මොළයේ ආරක්ෂාව වෙනුවෙන් දුම්බීම නතර කිරීම අත්‍යවශ්‍යයි. නිතර ව්‍යායාම කිරීම සහ ශරීර බර පාලනය කර ගැනීම වැදගත්. දිනපතා අවම වශයෙන් විනාඩි 30ක්වත් වේගයෙන් ඇවිදීම, පඩිපෙළ නැඟීම හෝ බයිසිකල් පැදීම ආදි හෘද ස්පන්දනයට බලපාන ව්‍යායාමයක නිරත වීම මොළයේ සෞඛ්‍යයට ඉතා හිතකරයි. ව්‍යායාම කරද්දී මොළයට ඔක්සිජන් සහ පෝෂණය හොඳින් ලැබෙනවා. නින්ද කියන්නේ ඉතා වැදගත් සාධකයක්. වරින් වර නින්දට යෑමට වඩා එක දිගට අවම වශයෙන් පැය 6කවත් හොඳ නින්දක් ලබා ගන්න ඕනේ. සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා, අපි නිදාගෙන ඉන්න වෙලාවට තමයි මොළයේ තියෙන අපද්‍රව්‍ය බැහැර කරලා මොළයේ යහපැවැත්ම වැඩි කරන්නේ කියලා. ඔව්, ශ්‍රී ලංකා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සංගමය විසින් මේ සඳහා විශේෂිත වෙබ් අඩවියක් සහ QR කේතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ හරහා සුලබ ස්නායු රෝග පිළිබඳ රෝගීන්ට තොරතුරු ලබාදෙන පත්‍රිකා කියවන්න පුළුවන්. රෝග වළක්වා ගන්න නම්, මේ ගැන මහජනතාව දැනුවත් වීමයි පළමු පියවර. අපේ ආයු කාලය වැඩි වෙනවා වගේම, අපේ මොළයත් නීරෝගිව තබාගැනීම තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. සමීක්ෂණවලින් පෙන්වා දෙන විදිහට විෂාදය (Depression) ආදි මානසික ගැටලු ඇති අයට ඩිමෙන්ෂියා රෝගය හැදෙන්න තියෙන අවදානම සහ ප්‍රවණතාව වැඩියි. සෞඛ්‍ය අංශයෙන් ස්නායු රෝග පිළිබඳ වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩිදියුණු කිරීම, රෝහල්වල යන්ත්‍රෝපකරණ සහ පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍යයි. ඒ වගේම රෝග නිවාරණයේදී සමාජයක් විදිහට අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ, ලෙඩක් හැදුණට පස්සේ බෙහෙත් ගන්නවාට වඩා, මේ වගේ රෝග ගැන කලින් දැනුවත් වෙලා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒවා පිළිපැදීමටයි.
මේ අයුරින් ඩිමෙන්ෂියාව තත්වය ගැන බොහෝ කරුණු වෛද්‍යතුමිය ගෙන හැර දක්වා ඇත