කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණුම තත්ත්වයට - ‘මිනිත්තු 30කට එක් මරණයක්’ බවට අනතුරු ඇඟවීම්

Report

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මේ වනවිට පැතිර යමින් පවතින ඉබෝලා වසංගතය එරට ඉතිහාසයේ මාරාන්තිකම ඉබෝලා වසංගතය බවට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

පසුගිය මැයි 15 වැනිදා වසංගත තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයන් 2,325 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, 2018 සිට 2020 දක්වා කාලය තුළ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් වාර්තා වූ ඉබෝලා වසංගතයේ මරණ සංඛ්‍යාවද මෙවර ඉක්මවා ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු ප්‍රධානී ටොම් ෆ්ලෙචර් පසුගිය සතියේ සඳහන් කර තිබුණේ, මෙය මෙතෙක් වාර්තා වූ වේගවත්ම ඉබෝලා ව්‍යාප්තිය බවයි. වෛරසය හේතුවෙන් සෑම විනාඩි 30කට වරක්ම එක් පුද්ගලයෙකු මියයන තත්ත්වයක් පවතින බවටද ඔහු අනතුරු අඟවා තිබේ.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මහජන සෞඛ්‍ය ආයතනය පසුගිය ඉරිදා නිකුත් කළ වාර්තාවකට අනුව, මේ වනවිට තහවුරු කර ඇති ඉබෝලා ආසාදිතයන් සංඛ්‍යාව 4,945ක් වන අතර, ඉන් ආසාදිතයන් 101 දෙනෙකු පසුගිය පැය 24 තුළ හඳුනාගෙන තිබේ.

මෙම වසංගතය මේ වනවිට එරට පළාත් 26න් පළාත් 6ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය එහි වෛරස ව්‍යාප්තිය “අසාමාන්‍ය වේගවත්” මට්ටමක පවතින බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් පිටත මේ දක්වා වාර්තා වී ඇත්තේ සාපේක්ෂව අඩු ආසාදිතයන් සංඛ්‍යාවකි.

අගෝස්තු 12 වැනිදා වනවිට අසල්වැසි උගන්ඩාවෙන් ආසාදිතයන් 20 දෙනෙකු තහවුරු වී ඇති අතර, ජර්මනියේදී පුද්ගලයන් දෙදෙනෙකුට ප්‍රතිකාර ලබාදී තිබේ. ප්‍රංශයෙන්ද එක් ආසාදිතයෙකු වාර්තා වී ඇත. කොංගෝවේ වත්මන් වසංගතය ඇතිකර තිබෙන්නේ Bundibugyo නම් ඉබෝලා වෛරස් ප්‍රභේදය වන අතර, එය සාපේක්ෂව දුර්ලභ වෛරස් ප්‍රභේදයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

“ඉරානය න්‍යෂ්ටික අවි හදනවා” කියූ පුවත සමාජ මාධ්‍ය කළඹයි - ඉන්දීය X ගිණුමකින් පැතිර ගිය බොරුව

“ඉරානය න්‍යෂ්ටික අවි හදනවා” කියූ පුවත සමාජ මාධ්‍ය කළඹයි - ඉන්දීය X ගිණුමකින් පැතිර ගිය බොරුව

   

මෙම වෛරස් ප්‍රභේදයට එරෙහිව මේ වනවිට අනුමත කළ එන්නතක් නොමැති නමුත්, එන්නත් කිහිපයක් සංවර්ධනය කරමින් පවතී. ඒ අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් නිපදවන එන්නතක්ද වේ. එය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත සංවර්ධනය කිරීම සඳහා භාවිත කළ තාක්ෂණයට සමාන තාක්ෂණයක් මත පදනම් වී තිබේ.

එම එන්නත සඳහා මිනිසුන් යොදාගෙන සිදුකරන පළමු සායනික අත්හදාබැලීම් ආරම්භ කිරීමට එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරියද අවසර ලබාදී තිබේ. මීට අමතරව, තවත් කණ්ඩායම් තුනක් විසින්ද Bundibugyo වෛරස් ප්‍රභේදයට එරෙහිව විවිධ එන්නත් සංවර්ධනය කරමින් සිටින බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තවත් සායනික අත්හදාබැලීමක්ද සිදුකෙරෙමින් පවතින අතර, දැනට භාවිත වන ප්‍රතිවෛරස් ප්‍රතිකාර ක්‍රම දෙකක් මගින් ඉබෝලා රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ හැකියාව වැඩි කළ හැකිද යන්න එහිදී පරීක්ෂා කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉදිරි මාස තුන තුළ වෛරසය පැතිරීම පාලනය කිරීමට බලාපොරොත්තු වන බවයි. එහෙත් එම ඉලක්කයෙන් අදහස් වන්නේ වෛරසයේ සම්ප්‍රේෂණය පාලනය කිරීම මිස වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම නොවන බවද එම සංවිධානය අවධාරණය කර තිබේ.

ඉබෝලා යනු දුර්ලභ නමුත් මාරාන්තික විය හැකි වෛරස් රෝගයක් වන අතර, Bundibugyo ප්‍රභේදය මීට පෙර වාර්තා වී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඉබෝලා ආසාදනයේ මූලික රෝග ලක්ෂණ උණ, හිසරදය සහ දැඩි තෙහෙට්ටුව වැනි තත්ත්වයන් වන අතර, ආසාදනය වීමෙන් දින දෙකත් 21ත් අතර කාලයකදී ඒවා හදිසියේ මතුවිය හැකිය.

රෝගය උත්සන්න වීමත් සමඟ වමනය සහ පාචනය ඇතිවිය හැකි අතර, අවසානයේදී අවයව අකර්මණ්‍ය වීම දක්වා තත්ත්වය බරපතළ විය හැකිය. ආසාදිත පුද්ගලයන්ගේ රුධිරය හෝ වමනය වැනි ශරීර තරල සමඟ සෘජු සම්බන්ධතා ඇතිවීමෙන් වෛරසය තවදුරටත් පැතිර යා හැකිය.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මේ වනවිට මුහුණ දෙමින් සිටින මෙම වසංගතය, වසර 50කට පෙර ඉබෝලා වෛරසය මුලින්ම හඳුනාගැනීමෙන් පසු එරටින් වාර්තා වූ 17 වැනි ඉබෝලා වසංගතය බවද වාර්තා වේ.

එරට පවතින දීර්ඝකාලීන ගැටුම් සහ ජනතාවගේ ඉහළ සංචරණය හේතුවෙන් වෛරසය පාලනය කිරීම සෞඛ්‍ය බලධාරීන්ට තවදුරටත් අභියෝගයක් වී තිබේ.

හවායි රාජ්‍යයට ලාලා කුණාටුවෙන් දැඩි ප්‍රහාරයක්- ලක්ෂ 1.8කට අධික පිරිසකට විදුලිය අහිමි වෙයි

හවායි රාජ්‍යයට ලාලා කුණාටුවෙන් දැඩි ප්‍රහාරයක්- ලක්ෂ 1.8කට අධික පිරිසකට විදුලිය අහිමි වෙයි