යාල ජාතික වනෝද්‍යානයට යන අයට සතුටු හිතෙන ආරංචියක් - ආයේ ටිකට් ගන්න පෝලිම්වල ඉන්න ඕනේ නෑ
යාල ජාතික වනෝද්‍යානයට සංචාරකයින් පැමිණීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතාවයන් අවම කිරීමේ අරමුණින් නව භෞතික සැලැස්මක් සහිත විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සමඟ සාකච්ජා කර ඇත.
එයට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ද ඊයෙ (16) දින සහභාගී වී ඇති බව සඳහන්.
එමෙන්ම යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 02 හි පලටුපාන පිවිසුමේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මෙහෙයුම් මංජුල අමරනාත්,වනජිවි අංශයේ අතිරේක ලේකම් උදය කුමාර ඇතුළු මහත්වරුන් සහ පරිසර අමාත්‍යංශයේ උසස් නිලධාරීන් රැසක්ද එක් වුණා.
එහිදී විශේෂ අවධානය යොමුව ඇත්තේ ජාත්‍යන්තර වනෝද්‍යාන ප්‍රමිතීන්ට අනුුකූලව සංචාරක තදබදය අවම කිරීම ඉලක්ක කර ගනිමින් යාල ජාතික වනෝද්‍යානයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමට බව සඳහන්.
එසේම කෙටි කාලීනව සහ දිගු කාලීනව ඉලක්ක කර කර ගනිමින් සකස් කරන ලද භෞතික සැලැස්ම නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. එසේම එහිදී වඩාත් ආකර්ෂණීය ලෙස සහ වනෝද්‍යානයකට සුදුසු ලෙස තිරසරව උද්‍යාන ඉදිකිරීම් සිදු කිරීමට අදාළව මෙහිදී අදහස් හුවමාරු වී ඇත.
උද්‍යානයට ඇතුලු වන සංචාරකයින්ගේ රථවාහන නවතා තැබීමට සහ සේවා මධ්‍යස්ථාන නව ආකාරයකින් ඉදිරිපත් කිරීමටත් ඒ තුළින් සංචාරක කර්මාන්තය සඳහා දායකත්වයක් ලබා දීමත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු ව ඇත.
එමෙන්ම වනෝද්‍යානයේ පිවිසුම, තොරතුරුමධ්‍යස්ථානය, අතිරේක ටිකට් කවුළු, කෞතුකාගාරය, සංචාරක සනීපාරක්ෂක සේවාවන්, විසිතුරු අලෙවි භාණ්ඩ මධ්‍යස්ථාන සහ උද්‍යාන සේවක නේවාසිකාගාර වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදි වැඩි අවධානයක් යොමුව තිබුණා.
ඊට අමතරව සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කිරීමට උද්‍යාන භෞතික සැලැස්ම ක්‍රියාත්මක අතර ඊට සමාන්තර මානව සම්පත් සහ සේවක පුරප්පාඩු පිරවීමටද වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුකර තිබෙනවා.
එම සැලැස්මේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර අනුමැතියෙන් පසුව අඳාළ ව්‍යපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම සංචාරයේදී යාල ජාතික වනෝද්‍යානයේ ස්ථාන කිහිපයක් නිරීක්ෂණයට ලක් විය.
එහිදී පවතින ගැටළු සම්බන්ධයෙන් සහ නිලධාරීන් ඉදිරිපත් කරනු ලැබු තොරතුරු සම්බන්ධයෙන් පරිසර විෂය භාර අමාත්‍යතුමාගේ විශේෂ අවධානයට ලක් වුණා.
තවද මෙහිදී දේශීය සහ විදේශීය සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමට අවධානය යොමුව ඇති අතර සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීමේදී පිවිසුම් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට තවත් අතිරේක ප්‍රවේශ පත්‍ර කවුන්ටර් කිහිපයක් අලුතින් සකස්කර ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේද වැඩි දියුණු කිරීමට නිලධාරීන් උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම ජීප් රථ විශාල වශයෙන් ඇතුළු වීමත් සමඟ අබලන්ව ඇති උද්‍යාන මාර්ග පද්ධතිය සුදුසු ලෙස ප්‍රතිසංස්කරණය කිරීමටත් යාල කලාප අංක 02 ප්‍රදේශයේ සතුන් නිරික්ෂණය කිරීමට ඇති අධික ඉල්ලුම සහ තද බදය අවම කිරීමේ අරමුණින් ලුණුගම්වෙහෙර පිවිසුමේ පහසුකම් සංවර්ධනය කිරීම සහ අරන්ගමුව නව නැරඹුම් කලාපයක් වශයෙන් අලුතින් ආරම්භ කිරීමටද මෙහිදී යෝජනා වී ඇත.
ඊට අමතරව වියළි කාලගුණික තත්ත්වයත් සමඟ සතුන්ට අවශ්‍ය ජල පහසුකම් උද්‍යානයට දෛනිකව ලබා දීම සිදුකරනු ලබන අතර ඒ සදහා බවුසර් රථ 03ක් භාවිතා කරයි.
ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත්තේ සුර්ය පැනල තුළින් විදුලිය උත්පාදනය කරමින් වනෝද්‍යාන ස්ථාන 06ක පිහිටුවා ඇති ජල සම්පාදන ඒකකයන් තුළින් සකස් කර කරන ලද කුඩා ප්‍රමාණයේ පොකුණු සඳහා ජලය සම්පාදනය කිරීමටයි.
එබැවින් එම ධාරිතාවය අවශ්‍යතාවය අනුව වැඩි කිරීමට නියමිත බව සඳහන්.