පැහැරගෙන ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් කුණු ඇලක
පැහැරගෙන ගියා යයි සැක කරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉඟුරු කඩේ හන්දියේ කුණු ඇලක තිබී හමුවී තිබේ.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති අතර සිද්ධියට අදාළ මල සිරුර මරණ පරීක්ෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වූ 12104 පොලිස් සැරයන් කැලුම් ප්‍රියවංශ සඳහන් කර සිටියේ, ඉකුත් 28 වන රාත්‍රියේ ජම්පටා ප්‍රදේශයේදී මරණකරු ඔහුගේ සහෝදරයා සමඟ සිටින අවස්ථාවේදී කොටහේන ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිටදී යම්කිසි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවය.
නමුත් මරණකරුගේ සහෝදරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකොට සඟවා සිට ඇති බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වූවා. ඉකුත් 29 දින නාදුනන මළ සිරුරක් ජාඩි ඇලේ පාවෙන බවට 119 දුරකථන අංක හරහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට තොරතුරක් ලැබි ඇති බව ද පොලිසිය පවසනවා.
ඉන්පසු මෙම නාඳුනන මළ සිරුර හඳුනා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ සියලු පොලිස් ස්ථානවලට දැනුම් දීමෙන් අනතුරුව මෙම මරණකරුගේ ඥාතීන් පැමිණ මළ සිරුර හඳුනාගෙන ඇති බව විමර්ශන නිලධාරියා සඳහන් කළා.
ඉන්පසුව එම ඥාතීන් විසින් කොටහේන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව වැඩිදුර විමර්ශන සිදුවන බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා සඳහන් කරනු ලැබුවේ, මරණකරු 2018 වර්ෂයේ සිදුවූ බරපතළ මිනීමැරුමක් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් බවට කරුණු අනාවරණය වී ඇති බවයි. සිද්ධියට අදාළ මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද පොලිසිය අධිකරණයට කරුණු දැක්වුවා.