ලංකාවේ හැමෝම දැනගත යුතු ජාතික අනතුරු නිවාරණ සතියේ තෙවැනි දිනය අදයි
අනතුරු නිවාරණය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කර ඇති එකොළොස්වන ජාතික අනතුරු නිවාරණ සතියේ තෙවැනි දිනය අද (08)ට යෙදී තිබේ.
පසුගිය ජූලි 6 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
වර අනතුරු නිවාරණ සතියේ අද දිනය "නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය" ලෙස නම් කර ඇති අතර, හෙට (09) "දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය" ලෙසත්, ජූලි 10 වැනිදා "පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය" ලෙසත් නම් කර තිබේ.
[6EYL3KR ]
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ (NCPI) මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, සතියේ සෑම දිනයක්ම විශේෂ තේමාවක් යටතේ ක්‍රියාත්මක කෙරේ.
හදිසි අනතුරු හේතුවෙන් සෑම වසරකම දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ජීවිතක්ෂයට පත්වන අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයන්ට පත්වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද හදිසි අනතුරුවලට ලක්වූවන් වන අතර, වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ප්‍රධාන වශයෙන් වාර්තා වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අනතුරු හේතුවෙන් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට එල්ල වන බලපෑම අවම කිරීම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අනතුරු නිවාරණ සතියට සමගාමීව දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අනතුරු අවදානම් සහිත ස්ථාන හඳුනාගැනීම, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන අනතුරු අවම කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
රාජ්‍ය ආයතන, සෞඛ්‍ය අංශ, අධ්‍යාපන ක්ෂේත්‍රය, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, අනතුරු නිවාරණය ජාතික වගකීමක් ලෙස සලකා ඊට සක්‍රීයව දායක වන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.