වීදි සුනඛයන්ට ආහාර දීම සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
වීදි සුනඛයන්ට ආහාර දීම සම්බන්ධයෙන් තමා විසින් සිදුකළ ප්‍රකාශය වැරදි ආකාරයෙන් බොහෝ පුද්ගලයන් ගෙන තිබෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් මේ සම්බන්ධව නිකුත් කර තිබේ .
නිවේදනයක් නිකුත් කරමින් එතුමා සදහන් කරන්නේ මෙවන් අදහසක් දින කිහිපයකට පෙර මා විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ අදහසක්
සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් තුළ වැරදි අවබෝධයක් ඇති වී තිබෙන බව පෙනේ.
වීදි සුනඛයන්ට ආහාර ලබාදීම යහපත් ක්‍රියාවක් බව මා පැහැදිලිව ප්‍රකාශ කළෙමි. එහෙත් එම සතුන්ට ආහාර ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඔවුන්ගේ සමස්ත සුබසාධනය පිළිබඳ වගකීමක් ද දැරිය යුතුය.
එම සතුන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, වන්ධ්‍යාකරණය සිදු කිරීම, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම සහ වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව මා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සුනඛ සපාකෑම් හේතුවෙන් පුද්ගලයන් 250,000කට අධික සංඛ්‍යාවක් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වන අතර, එම ප්‍රතිකාර සඳහා රජයට රුපියල් මිලියන 1,000කට අධික වියදමක් දැරීමට සිදුවේ.
එමෙන්ම පසුගිය වසරේදී ජලභීතිකා රෝගය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇත. වීදි සුනඛයන් සම්බන්ධ ගැටලුව සත්ව සුබසාධනයට පමණක් සීමා වූ කරුණක් නොවන අතර, එය මහජන සෞඛ්‍යයට, මාර්ග ආරක්ෂාවට සහ රටේ ආර්ථිකයටද බලපාන වැදගත් කරුණකි.
වාර්තා අනුව, මාර්ග අනතුරු අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් වීදි සුනඛයන් සම්බන්ධ සිදුවීම් සමඟ බැඳී ඇත. සමාජයක් ලෙස අප සතුන් කෙරෙහි සහකම්පනය දැක්වීම මෙන්ම, ඒ සමඟම වගකීමෙන් ක්‍රියා කිරීමද අවශ්‍ය වේ. වගකීමකින් තොරව මෙම ගැටලුවට ප්‍රවේශ වුවහොත් එය කිසිදා ස්ථිරව විසඳාගත නොහැකි වනු ඇත.
එබැවින් මාර්ගවල සිටින අසරණ සතුන්ට ආහාර ලබාදෙන්න. එහෙත් ඔවුන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳවද වගකීමෙන් කටයුතු කරන්න. පරිසරය, සත්ව සුබසාධනය සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා බුද්ධිමත්ව සහ සාමූහිකව මැදිහත් වීම අප සැමගේ වගකීමකි.
ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සියලු පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිනම් ඉදිරි පරම්පරා ගණනාවක් පුරා මෙම රෝගයේ බලපෑමට මුහුණ දීමට සිදුවනු ඇත.