වාහන ආනයන පිළිබඳව විශේෂ හෙළිදරව්වක් - ආනයන කළ වාහන 1025ක් හම්බන්තොට වරායේ හිරවෙලා
මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවන් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අවධාරණය කළේ, එම වාහන අතුරින් වාහන 625ක්ම මෙරටට ආනයනය කර මාස හයකට අධික කාලයක් ගතවී ඇති බවයි.
මෙම වාහනවල කිසිදු රේගු වරදක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ඒ අනුව කිසිදු රේගු වරදක් නොමැතිව වරායෙන් නිදහස් කරගෙන නොමැති මෙම වාහන, රේගු ආඥා පනතේ 129 වන වගන්තිය ප්‍රකාරව ඉදිරියේදී වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.
මෙරටට ගෙන්වන ඕනෑම භාණ්ඩයක් මාසයක් තුළ ඊට අදාළ සියලුම බදු වර්ග ගෙවා නිදහස් කරගත යුතු අතර, එසේ නොකරන්නේ නම් අදාළ පනත යටතේ ඒවා විකුණා එම මුදල්වලින් රජයට අවශ්‍ය බදු ප්‍රමාණය අයකර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පවතී.
අදාළ බදු ගෙවීමෙන් අනතුරුව ඉතිරිවන මුදල්වලින් වරාය සහ ගුදම් ගාස්තු ගෙවිය හැකි අතර, එම ගෙවීම් ද සිදු කිරීමෙන් පසුව යම් මුදලක් ඉතිරි වන්නේ නම් එය අදාළ ආනයනකරුවා වෙත ලබාදීමට කටයුතු කරන බව චන්දන පුංචිහේවා මහතා පැවසීය.
ආනයනය කළ භාණ්ඩ මාසයකට වඩා කාලයක් වරායෙන් නිදහස් කරගෙන නොමැති නම් ඒ බව වරාය පාලකවරයා විසින් ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දිය යුතු අතර, ඒ අනුව මෙම වාහන සම්බන්ධයෙන් ද මේ වන විටත් රේගුව දැනුවත් කර තිබේ.