ලොවම සලිත කළ 9/11 ප්‍රහාරයට වසර 25යි - ඇමරිකාවේ සහ එංගලන්තයේ දැවැන්ත අනුස්මරණ වැඩසටහන්

Report

ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ මාරාන්තික 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සපිරීම නිමිත්තෙන්, එම ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු රටවල අනුස්මරණ වැඩසටහන් රැසක් අද (11) පැවැත්වෙයි.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල්කයිඩා සාමාජිකයන් විසින් පැහැරගත් ගුවන් යානා හතරක් භාවිත කරමින් නිව්යෝර්ක්හි World Trade Center ගොඩනැගිලි, පෙන්ටගනය සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 2,977 දෙනෙකු මියගියහ.

එම ප්‍රහාරයෙන් පසු ගතවූ වසර 25 තුළ එහි බලපෑම ඇමරිකානු සමාජය, දේශපාලනය, විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂාව කෙරෙහි දැඩි ලෙස බලපා තිබේ. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන ප්‍රධාන අනුස්මරණ උත්සවයට ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, ජීවත්ව සිටින හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනෙකු සහ වින්දිතයන්ගේ ඥාතීන් එක්වීමට නියමිතය.

එහිදී World Trade Center ගොඩනැගිලි දෙකට ගුවන් යානා ගැටුණු අවස්ථා සහ එම ගොඩනැගිලි දෙක කඩා වැටුණු අවස්ථා සිහිපත් කරමින් නිහඬතාවයේ අවස්ථා පැවැත්වීමට නියමිතය. එමෙන්ම, නිව්යෝර්ක්, වොෂිංටන් සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තවලදී මියගිය පුද්ගලයන් 2,977 දෙනාගේ නම් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් කියවීමට නියමිත අතර, 1993 වසරේ World Trade Center බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් හයදෙනාගේ නම්ද සිහිපත් කෙරෙනු ඇත.

මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයේ පැවැත්වෙන අනුස්මරණ උත්සවයකට සහභාගි වීමට නියමිතය. පෙන්සිල්වේනියාවේ Shanksville

ප්‍රදේශයේදීද සිව්වැනි පැහැරගත් ගුවන් යානය කඩා වැටුණු ස්ථානයේ අනුස්මරණ උත්සවයක් පැවැත්වෙයි.

“රෝද මත බලකොටුවක්'' - ලෝකය මවිත කළ පුටින්ගේ බෝම්බ සහ වෙඩි නොවදින සන්නද්ධ රථයත් ඉන්දියාවට

“රෝද මත බලකොටුවක්'' - ලෝකය මවිත කළ පුටින්ගේ බෝම්බ සහ වෙඩි නොවදින සන්නද්ධ රථයත් ඉන්දියාවට

එංගලන්තයෙත් 9/11 සිහිපත් කරයි

මේ අතර, 9/11 ප්‍රහාරයෙන් මියගිය එක්සත් රාජධානියේ පුරවැසියන් 67 දෙනා සිහිපත් කරමින් එංගලන්තයේ ලන්ඩන් නුවරදීද අනුස්මරණ වැඩසටහන් පැවැත්විණි.

ලන්ඩනයේ Grosvenor Square හි පිහිටි 9/11 අනුස්මරණ උද්‍යානයේදී එක්සත් ජනපද තානාපති වොරන් ස්ටීවන්ස් මහතා සහ ඔහුගේ බිරිඳ හැරියට් ස්ටීවන්ස් මහත්මිය මල් කළඹක් තැන්පත් කරමින් ප්‍රහාරයෙන් මියගිය පිරිසට ගෞරව දැක්වූහ.

මේ අතර, ලන්ඩනයේ Queen Elizabeth Olympic Park හි පැවති අනුස්මරණ වැඩසටහනකට වින්දිතයන්ගේ පවුල්, හදිසි සේවා නිලධාරීන් සහ පාසල් සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2001 වසරේ ප්‍රහාරයෙන් පසු World Trade Center ගොඩනැගිලිවල නටබුන් අතරින් සොයාගත් වානේ කොටසක් ආසන්නයේ මෙම අනුස්මරණ උත්සවය පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ පිරිසෙන් අවම වශයෙන් තුනෙන් එකක් පමණ 2001 සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරය සිදුවන විට උපත ලබා නොතිබූ හෝ එම සිදුවීම මතක තබා ගැනීමට තරම් කුඩා වයසක පසුවූ අය බවද සඳහන් වේ.

ප්‍රහාරයෙන් පසු මතුවූ දිගුකාලීන බලපෑම්

9/11 ප්‍රහාරයෙන් පසු එම ස්ථානවල ගලවා ගැනීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම්වල නිරත වූ ගිනි නිවන භටයන්, හදිසි සේවා නිලධාරීන් සහ අනෙකුත් පුද්ගලයන් විෂ ද්‍රව්‍යවලට නිරාවරණය වීම හේතුවෙන් පසුව විවිධ රෝගවලට ගොදුරු වී තිබේ.

නිව්යෝර්ක් නගර ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් 343 දෙනෙකු 2001 සැප්තැම්බර් 11 වැනිදා මියගිය අතර, ඉන් පසුව 9/11 ආශ්‍රිත රෝග හේතුවෙන් තවත් ගිනි නිවන භටයන් 600කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

ප්‍රහාරයෙන් පසු ඇති වූ දූවිලි සහ දුමාරය හේතුවෙන් ඇති වූ රෝගවලින් මේ වනවිට මියගිය සංඛ්‍යාව, ප්‍රහාරය සිදුවූ දිනයේ මියගිය පුද්ගලයන් 3,000කට ආසන්න සංඛ්‍යාව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි වී ඇති බව ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත.

එමෙන්ම, ප්‍රහාරයෙන් පසු World Trade Center ආසන්න ප්‍රදේශයේ වාතයේ ඇස්බැස්ටස් ඇතුළු විෂ ද්‍රව්‍ය පැවති බවට නවතම ලේඛනවලින්ද තොරතුරු අනාවරණය වී තිබේ.

9/11 ප්‍රහාරයෙන් වසර 25කට පසුවද එහි බලපෑම් පිළිබඳව අවධානය යොමුව ඇති අතර, එම සිදුවීම පිළිබඳ මතකයක් නොමැති නව පරම්පරාවට එහි ඉතිහාසය සහ දිගුකාලීන බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම මෙවර අනුස්මරණ වැඩසටහන්වලදී අවධාරණය කර තිබේ.

කොංගෝවේ මහා ඛේදවාචකයක් - පාසල් දෙකක් ගිනි ගනී - ගින්නෙන් බේරෙන්න දුවපු සිසුන් 24ක් ජීවිතක්ෂයට

කොංගෝවේ මහා ඛේදවාචකයක් - පාසල් දෙකක් ගිනි ගනී - ගින්නෙන් බේරෙන්න දුවපු සිසුන් 24ක් ජීවිතක්ෂයට