CID එකෙන් අල්ලලා බාර දීපු අපරාධකරු රත්නපුර පොලිසියෙන් පැනලා
පසුගියදා පානදුර හා හිරණ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධි දෙකකදී යතුරුපැදිකරු ලෙස කටයුතු කළ බව කියන සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසිය වෙත භාර දී තිබේ.
නමුත් එලෙස භාරදුන් සැකකරු එම පොලිසියෙන් පැනගොස් තිබේ. මෙම සැකකරු වරෙන්තුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ (30 වැනිදා) සූදානම් කර සිටි අවස්ථාවේදී, වැසිකිළියට යාමට අවශ්‍ය බව උපසේවා නිලධාරියාට පවසා සිරමැදියේ දොර විවෘත කරවාගෙන අත්මාංචු ලිහිල් කිරීමත් සමගම පොලිස් නිලධාරියා තල්ලු කර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මෙලෙස පලාගොස් ඇත්තේ විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුර නිලංග’ නමැත්තාගේ සමීපතමයකු බව කියන රත්නපුර අංගම්මන පදිංචි සුරංග උපසංක පිටදෙනිය නමැති සැකකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අපරාධ රැසකට සම්බන්ධ ඔහු පිළිබඳව ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර පැල්මඩුල්ල පාතගම නිවසක සැඟව සිටියදීය.
සැකකරු සන්තකයේ තිබී තාප්ප හෙට්ටිගේ සුදත් ප්‍රේමකුමාර නමින් ඇති බෙරලපනාතර, පාතවිට, විල්පිට ලිපිනයක් සඳහන් ව්‍යාජ හැදුනුම්පතක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. මොහු විදෙස් රටවල් වල සිටින පාතාල නායකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් අදාළ අපරාධ සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
