ශ්‍රී ලංකාවේ එන්නත්කරණය වැරදි ද ?

covid19 vaccination AstraZeneca namal rajapaksha sinophorm
By Sewvandhi Jun 08, 2021 03:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ජව ගැන්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමතිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා ( ජූනි 03)අරලියගහ මන්දිරයේ පැවැත්වුණු අතර එහි මුලසුන දරන ලද්දේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසිනි.

එම සාකච්ඡාවේ අරමුණ ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීමය. කොළඹ නගර සීමාව තුළ එන්නත මඟහැරෙන පුද්ගලයින් සඳහා අලුතින් එන්නත් මධ්‍යස්ථාන පහක් පිහිටුවීමටත් එම මධ්‍යස්ථාන රාත්‍රී 10.00 තෙක් විවෘතව තැබීමටත් නාමල් රාජපක්ෂ ඇමතිවරයා එම හමුවේ දී යෝජනා කර ඇත.

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේ දී උද්ගතවූ තත්ත්වයන් පිළිබඳව ඉහත කී සාකච්ඡාවට සහභාගී වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට කරුණු පැහැදිලි කළ නාමල් රාජපක්ෂ ඇමතිවරයා ජුනි 08 වෙනිදා සිට 'සයිනොෆාම්' දෙවැනි මාත්‍රාව ලබාදෙන බව සඳහන් කළේ යැයි මාධ්‍ය මගින් වාර්තාකරනු ලැබ තිබුණි.

පළමු වතාවේ ඇතිවූ අඩුපාඩු සකස් කරගනිමින් මෙය ක්‍රියාත්මක කළයුතු අතර ඒ සඳහා රාජ්‍ය සහ දේශපාලන යාන්ත්‍රණයට සහයෝගය දැක්වීම සඳහා ක්‍රියාකළ යුත්තේ කෙසේදැයි රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡා කළයුතු බවත් ඇමතිවරයා පෙන්වා දුන් බව එමගින් වැඩිදුරටත් දැක්විණි.

සෞඛ්‍ය අංශය භාරව ඇමතිවරුන් කීපදෙනෙක් කටයුතු කරමින් සිටින අතරවාරයේ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ මැදිහත්වීම මගින් කෙරෙන ඉඟිය බොහෝ ක්‍ෂේත්‍රයන් තුළ විවිධ නිර්වචන මතුකෙරෙමින් සාකච්ඡාවට ගැනෙමින් පවතී.

කෙසේවුවද නාමල් රාජපක්ෂ ඇමතිවරයා විසින් එන්නත්කරණයේ ''පළමු වතාවේ ඇතිවූ අඩුපාඩු සකස් කරගනිමින්'' පෙරට යායුතු බවට කරන ලද ප්‍රකාශය මගින් කොවිඩ් එන්නත්කරන ව්‍යාපෘතිය තුළ පැවති අක්‍රමිකතා සහ අශක්නුතා සම්බන්ධයෙන් පැවති ව්‍යාකූලත්වය සංකේතවත් කෙරෙයි. ඇමතිවරයා සඳහන් කරන එම ''අඩුපාඩු'' ශ්‍රී ලාංකික සමාජය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වෙමින් පැවති ක්‍රියාවලියකි.

ආරම්භය කෙබඳු වීද?

කොවිඩ්-19 වසංගතය මැඩලීමේ ප්‍රධාන අවිය මහජනතාව එන්නත් කිරීම බවට පත්ව ඇත. වසංගතයට එරෙහි සටනේ දී ලෝකය පුරා භාවිත කෙරෙන එම එන්නත්කරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැලවුම් මාර්ගය බවට පත්වූයේ අද්භූත හාස්කම් බලයෙන් නිර්මාණය කරන ලදැයි මහා ප්‍රචාරයක් දුන් ඊනියා දේශීය ඖෂධ විශේෂ අත්හැර දමන ලද තත්ත්වයකට පත්වීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත ජන සංඛ්‍යාව මේවනවිට දෙලක්‍ෂය ඉක්මවා ගොස් ඇති අතර දිනපතා මරණ සංඛ්‍යා වාර්තා කෙරෙන්නේ ඉලක්කම් දෙකකින් යුත් සංඛ්‍යාවකිනි. මෙම කොවිඩ් මරණ අඩුකර ගැනීම සඳහා අද ඇති ඒකායන විසඳුම් මාර්ගය එන්නත්කරණය සහ සමාජ දුරස්ථභාවයට අදාළ සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීම වන නමුත් එම කරුණු දෙකම තවමත් පවතින්නේ ව්‍යාකූල තත්ත්වයක බව මාධ්‍ය වාර්තා මගින් පෙන්නුම් කෙරෙයි.

''කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් සහගතවීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයින් විසින් භාරගත යුතු'' බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමට මූලික වූ ප්‍රබල භික්ෂුන් වහන්සේ නමක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගියදා මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශය මගින් පවතින තත්ත්වය ප්‍රදර්ශනය කෙරෙයි. "ලාහට ගෙම්බො එකතු කරන්නා වගේ පොඩ්ඩ පොඩ්ඩ ගෙනල්ලා මේ එන්නත විදීමෙන් වෙන්නෙ මොකද්ද? තව තවත් මිනිස්සු ළඟ තියෙන ක්‍රෝධය වෛරය පැසවලා ඉදිරියට යන එකයි වෙන්නෙ'' ආනන්ද හිමියෝ සඳහන් කළහ.

එන්නත්කරන ව්‍යාපෘතිය තුළ පවතින අක්‍රමවත්භාවය ඉස්මතු කෙරෙන ප්‍රකාශයක් රජයේ සෞඛ්‍ය අංශය විසින් ම සිදුකරනු ලැබ ඇත. එනම් කූඨ ජාවාරම්කරුවන් එන්නත්කරණ වැඩපිළිවෙලට රිංගා ඇති බවට සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු අඟවනු ලැබීමය. මුදලට ව්‍යාජ එන්නත් විකිණීමේ ජාවාරමක් පිළිබඳ සෞඛ්‍ය නිලධාරියෙක් මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

ආරම්භය මන්ත්‍රීවරුන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන්

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය මැඩලීමට පළමුව ගෙන්වන ලද්දේ ඇස්ට්‍රා-සෙනිකා එන්නතය. එම එන්නත පළමුවෙන්ම විදගත් කණ්ඩායම් දෙක වූයේ දේශපාලකයන් සහ වෛද්‍යවරුන්ය. දේශපාලකයන් සමාජය ඉදිරියට යන හෙයින් ඔවුන්ට විශේෂ රැකවරණයක් අවශ්‍ය බවට තර්කයක් මතු වූ නමුත් වැඩපිළිවෙල පාර්ලිමේන්තු මන්දිරය මුල්කරගෙනම ක්‍රියාත්මක කරනු ලැබුණි.

ඒ සමඟ වෛද්‍යවරුන්ට ප්‍රමුඛ ස්ථානය ලැබුණු අතර එය ප්‍රමුඛ වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) පාලනය යටතේ ක්‍රියාත්මක විය. සමාජයේ බලවත් සංවාදයකට ලක්වූ එම වෛද්‍ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අරුන්දතී සංගක්කාර මෙසේ සඳහන් කර ඇත.

''රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය වෙත පෝරමයක් යොමු කරමින් ඇස්ට්‍රසේනෙකා එන්නතේ පළමු හා දෙවෙනි එන්නත සහ වෙනත් කොවිඩ් එන්නත් සිය "ළඟම පවුලේ ඥාතීන්" හට කොපමණ අවශ්‍යදැයි විමසා දත්ත ගබඩාවක් සකස් කර ඇත. මෙයට රජයේ අනුමැතිය ලැබී ඇතිවාට​ සැකයක් නැත.

"ළඟම පවුල" ලෙස අර්ථ දක්වා ඇත්තේ සහකරු/කාරිය, මව, පිය, නැන්දම්මා, මාමණ්ඩිය සහ දරුවන් ආදී වශයෙනි. මේ දත්ත ගබඩාවේ දස හැවිරිදි දරුවන්ගේ දත්ත පවා එන්නත සඳහා ඉදිරිපත් කර ඇත!''

(-The Great Vaccine Theft By The GMOA- By Arundathie Sangakkara) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත්කරණයේ දී කටයුතු කළ ආකාරය මාධ්‍ය හමුවක දී දැඩි ස්වරයෙන් දෝෂ දර්ශනයට ලක් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ''විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැඩි බලපෑමක් සිදුවන බවත්, එම සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනාටම එන්නත් ලබා දී ඇති'' බවත් කියා සිටියහ. ''මේ වෙනකොට එන්නත් දීලා නැත්තේ ර‍ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලන්ට විතරයි'' ආනන්ද හිමියෝ සඳහන් කළහ.

වෛද්‍ය සංගමයේ ප්‍රතිචාරය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල ඔස්සේ විවාදයක් පැවතිණි. ඒ අතරේ මැයි මස 25 දින මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නවීන් ද සොයිසා ''තමන්ගේ පවුල්වල සමාජිකයින්ට ප්‍රමුඛතාවය ලබාගෙන කොවිඩ් එන්නත් ලබාගැනීම කිසිවකු ප්‍රශ්න කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ශිෂ්ඨසම්පන්නභාවය කොතරම්දැයි ප්‍රශ්නයක්" තමන්ට මතුවන බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ වෛද්‍ය නවීන් ද සොයිසා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. "අපිත් අපේ පවුල් අනතුරට දාගෙන රස්සාවක් කරනවා. ඊට අමතරව අපි සංගමයක් කරනවා. ඒ සේරම කරලා ඉවර වෙනකොට දීපු එන්නතක් ගැන නම් මීඩියා එකේ යැවීම මොනතරම් ශිෂ්ඨසම්පන්නද කියන ප්‍රශ්නෙ තියෙනව'' ''තුන්වෙනි රැල්ලක් එනවත් එක්ක සහ ඊට පෙර හඳුනාගත්ත කණ්ඩායම් තමයි, සෞඛ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්.

සෞඛ්‍ය සේවකයා ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයන් බවට පත්වෙනවා. ඒ අය එන්නත්කරණය මේ වැඩ පිළිවෙලේ ක්‍රියාදාමයක්'' වෛද්‍ය නවීන් සොයිසා පැවසීය. එහෙත් තම පවුල්වල සාමාජිකයන්ට නොව තමන්ට හෝ තවමත් එන්නත ලැබී නැති බව හෙද ඇතුළු සෙසු සෞඛ්‍ය සංවිධාන පවසති.

මේවනවිට අවසන්ව ඇතැයි කියන ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ජූනි 06 වෙනි දින ගාල්ල ප්‍රදේශයේ ස්ථානයක දී කොළඹ ව්‍යාපාරික පවුල්වල කීපදෙනකුට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයන්ට ලබාදෙමින් තිබූ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කළේය.

පළමු මාත‍්‍රාව ලබාගත් ලක්‍ෂ පහකට අධික ජනතාව දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට බලාසිටින අතරවාරයේ සහ ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් තොග අවසන් යයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් දැනුම් දී තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන් සතුව එම තොග රටපුරා සඟවාගෙන සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ චෝදනා කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි.

"විගණනයක් අවශ්‍යයි"

මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා මෙරටට නොමිලේ ලැබුණු එන්නත් භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. විගණකාධිපතිවරයාට ලිපියක් යොමු කළ එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට ප්‍රදාන ලෙස ලද සහ මිල දී ගන්නා ලද එන්නත් භාවිත වූ ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් විගණනයක් සිදු කරන ලෙසය.

''ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුකරන ලද එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බව දිගින් දිගටම වාර්තා වන අතර එන්නත් මුදලට විකිණීම, විවිධ දේශපාලන අනුග්‍රහයන් යටතේ එන්නත් ලබාදීම" ආදිය ඒ තුළ වාර්තා වන බව ජෝසෆ් ස්ටාලින් විසින් විගනකාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියෙහි සඳහන් කර තිබේ.

කට්ටඩියන්ගෙන් දේශපාලකයන් අතට

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භයේ දී එය පාලනය කිරීමේ වගකීම අද්භූත බලවේගයන් විසින් පවරා ගන්නාලද බවට විවේචන ඉදිරිපත් විය.

 ආණ්ඩුවේ ඇමැතිවරුන් ද ඇතුළු ඇතැම් කණ්ඩායම් පර්යේෂණ මට්ටමින් තහවුරු කරනු ලැබීමකින් තොර ප්‍රතිකාර ක්‍රම සහ ආගමික බලවේගයන්හි ආශීර්වාදයෙන් කොරෝනා මැඩලීම ගැන ප්‍රචාරයේ නිරතවෙන අතරවාරයේ ශ්‍රී රාහුල පදනමේ අධ්‍යක්‍ෂ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් කරන ලද පහත දැක්වෙන ප්‍රකාශය මගින් පැවති තත්ත්වය පෙන්නුම් කළේය.

''කොරෝනා වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා සියලු දෙනාම සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් ලබාදෙන උපදෙස් මනාව පිළිපදිමින් සාමුහිකව වගකීම් සහගතව කටයුතු කළ යුතුයි'' ''මේ මොහොතේ අපි වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් එන උපදෙස් දේව වාක්‍ය සේ සලකලා ඒවාට අනුගතව කටයුතු කරන්න හැම කෙනෙකුම'' ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ අවධාරණය කළහ.

කෙසේවෙතත් එන්නත්කරණ වැඩපිළිවෙල සෞඛ්‍ය බලධාරීන් අතින් ඉවත්කොට දේශපාලන හස්තයට ගොදුරු කරගන්නා ආකාරයක් ද එන්නත්කරන වැඩසටහන් සංවිධානය කෙරෙන ආකාරය මගින් පෙන්නුම් කරන්නට විය. තම කලාපයේ එන්නත්කරණ වැඩසටහනට බාධාකරන බව පවසමින් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මොරටුව නගරාධිපතිවරයා මේවනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටී.

එහෙත් මොරටුව නගරාධිපතිවරයා අනුගමනය කරන ලද විධික්‍රමය නිවැරැදි බව පවසන සංචාරක සහ ගුවන් තොටුපොල භාර ඇමති ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේද එම ක්‍රමය අනුගමනය කරන බව සඳහන් කළේය. මේ අතර මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ මොරටුව ක්‍රමය කුරුණෑගලත් ක්‍රියාවට නංවන බවය.

එම ක්‍රමය අනුව සිදුකෙරෙන්නේ ඡන්ද ලැයිස්තු උපයෝගීකර ගනිමින් නගරාධිපතිවරයා විසින් දෙනු ලබන 'චිට් එකක්' අනුව එන්නත ලබාදීමය. ''ඒ ක්‍රමය තමයි අපේ පැතිවලත් ක්‍රියාත්මක වෙන්නේ. ඡන්ද නාම ලේඛනය අනුව අංකයක් ලබා දෙනවා. තමන්ට හිමි අංකය අනුව එන්නත ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයා චන්ද නාමලේඛනයේ ලියාපදිංචි පුද්ගලයෙක්ද යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් තහවුරු කරගැනීමෙන් පසුව වෛද්‍යවරයා වෙත යොමු කරනවා'' ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය ඇමතිවරයා උපුටා දක්වමින් සඳහන් කළේය.

''ඇස්ට්‍රා-සෙනිකා එන්නත ලබාදීමේ මුල් වටයේදී ම මම පළමු මාත්‍රාව ලබාගත්තා. අපට සුමාන හයක් ඇතුළත එහි දෙවැනි මාත්‍රාව ලබාදෙන බවක් කිව්වත් දැන් සුමාන දොළහක් විතර ගතවෙලා. පෞද්ගලිකව ගත්තොත් මට දැන් මෙය මානසික ප්‍රශ්නයක්'' කොළඹ දිස්ත්‍රික්කයෙන් එන්නත ලබාගත් විශ්‍රාමිකයෙක් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

ඇස්ට්‍රා-සෙනිකා එන්නත වෙනුවට දෙවන මාත්‍රාව හැටියට වෙනත් එන්නතක් යෝජනා කළහොත් එය ලබාගන්නේදැයි බීබීසී සිංහල සේවය විමසූ විට එම තැනැත්තා කියාසිටියේ තමා ඊට එකඟවන බවය.

එහෙත් එවැනි විකල්ප මාත්‍රාවක් ලබාදීම ගැන හෝ තමාට තවමත් විශ්වාසයක් නැතැයි ඔහු සඳහන් කළේය. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක, වර්ග දෙකකින් ලබාදීම ගැටලුවක් නොවන බව මැයි 11 පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශකර තිබුණි. "විශේෂඥයන් අදහස් දක්වලා තිබෙනවා පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකිනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ කියලා.

ඒ ගැන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අවසන් වශයෙන් තීන්දුවක් ගනීවි," අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ,ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ නම් පමණක් එන්නත් මාත්‍රා මිශ්‍රකර ලබා දිය හැකි බවය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙසත්, දෙවෙනුව වෙනත් වර්ගයේ එන්නතක් ලබා දිය හැකි ද යන්න පිළිබඳ එක්සත් රාජධානියේ සහ රුසියාවේ පරීක්ෂණ පැවැත්වෙන බවත් එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරියේ දී තීරණ ගන්නා අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඉක්මණින් නැවත ගෙන්වීමට රජය ක්‍රියා කරනු ඇති බවට බලාපොරොත්තු පළ කරන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළාය.

එක මාත්‍රාවක් සෑහේද?

මේ අතර කොවිඩ් මර්දනය සඳහා එන්නතක එක මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් යයි ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලනඥයන් පැවසීම පවතින තත්ත්වය තවත් ව්‍යාකූල කිරීමට හේතුවිය. එහි ආරම්භක පියවර වශයෙන් මහනුවර ප්‍රදේශයේ ජනයාගෙන් එන්නතක එක් මාත්‍රාවක් ලබාගැනීමට මහජන කැමැත්ත අත්සන් මගින් ලබාගැනීමේ වැඩපිළිවෙලක් ගැන ද වාර්තා විය.

එවැනි එක් මාත්‍රාවක් පමණක් දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් කිසිදු තීරණයක් ගෙන නැති නමුත් 'ස්පුට්නික්' එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත. "දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතිනවා.

මහාචාර්ය නීලිකා, ඒවගේම මේ සම්බන්ධ තාක්ෂණික කමිටුව මේ දෙවැනි එක අවශ්‍යද කියන එකත් මේ වෙනකොට සාකච්ඡා වෙමින් යනවා. මොකද මේ පළවෙනි එකෙන්ම ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන බවයි සඳහන් වෙන්නෙ. මට තිබෙන ආරංචි අනුව ස්පුට්නික් එක මාස හයක් යනකල් වලංගු බවක් තියෙනවායි කියන එකයි'' මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් සඳහන්කර තිබුණි.

ව්‍යාජ එන්නත්?

මේ අතර ව්‍යාජ එන්නත්වලින් ප්‍රවේශම්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනයාට අනතුරු ඇඟවීමක් කර ඇති අතර එය එන්නත්කරණ වැඩසටහනට පිටස්තර ජාවාරම්කරුවන් ඇතුල්වී ඇද්ද යන සැකය මතු කිරීමට හේතු වී ඇත.

''හිතන හිතන පෞද්ගලික ආයතනවලට එන්නත් ලබාගත නොහැකි බවත්, ලංකාව තුළ එන්නත් ලබාගැනීමේ හැකියාව ඇත්තේ SPC ආයතනයට පමණක් බවත් එන්නත් නිෂ්පාදනය කරන සමාගම්ද එන්නත් ලබාදෙන්නේ ඕනෑම රටක ඖෂධ හෝ එන්නත් පිළිබදව කටයුතු කරන රාජ්‍ය ආයතනයට පමණක් බැවින් අප රටෙහි SPC ආයතනයට පමණක් එන්නත් ලබාගැනීමේ හැකියාව පවතින'' බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය..

එන්නත් ආනයනය සඳහා ඉල්ලුම් කරඇති ඇතැම් පෞද්ගලික ව්‍යාපාරික ආයතන තුනී ලෑලි සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන බව රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළ බවක් ද පසුගියදා මාධ්‍ය මගින් වාර්තාකරනු ලැබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now