12 ට වැඩි ළමයින්ටත් එන්නත

By Sewvandhi Aug 16, 2021 02:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

එමෙන්ම, දියවැඩියා වැළඳීමේ දැඩි අවදානමක් ඇති රෝගීන්ට කොවිඩ් වැළඳීමේ ඉහළ අවධානමක් ඇති බවත් ඔවුන් ප්‍රවේශම් විය යුතු බවත් කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා පවසනවා.

මේ හේතුවෙන් දියවැඩියාවෙන් පෙළන රෝගීන් අනිවාර්යෙන්ම කොවිඩ් එන්නත් දෙකම ලබාගත යුතු බවයි වෛද්‍යවරයා පැවසුවේ.

මීට අමතරව දියවැඩියා රෝගීන් කෝවිඩි ආසදනයට ලක් වුව ද නියමිත පරිදි දියවැඩියා පාලන ඖෂධ ලබාගත යුතු බවද ඒ මහතා අවධාරණය කළා.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා දිවයින පුරා සිදුකෙරෙන එන්නත් කරන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා තවත් ෆයිසර් එන්නත් ලක්ෂ‍යක් අද අළුයම දිවයිනට ළඟා වුණා.

නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් සිට දෝහා වෙත රැගෙන ඒමෙන් පසු, කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 668 දරණ යානයෙන් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ඇමරිකාවේ ෆයිසර් සමාගමේ නිෂ්පාදනයක් වන මෙම එන්නත් මූලික වශයෙන් ලබා දෙනු ලබන්නේ විදෙස් රැකියා සහ විදෙස් අධ්‍යාපනය සඳහා දිවයිනෙන් බැහැරව යන අයටයි. අදාල එන්නත් තොගය ජාතික රුධිර පාරවිලයන ආයතනයේ විශේෂ ගබඩාවේ තැන්පත් කරනු ලැබුවා.

මේ අතර අද (16) දින රාත්‍රී 10 සිට හෙට (17) අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකය. එය අද සිට නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම ක්‍රියාත්මක වේ. එම කාලපරිච්චේදය තුළ මාර්ගවල ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල සාමාජිකයින්ට හා ඊට අදාළ වාහන සඳහා පමණි.

මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු ඊයේ (15) දිනය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව එම වැරදි සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 54,612කි. පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 479 දෙනෙකු ද ඊයේ දින ආපසු හරවා යැයූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් හෝ ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවකදී පමණක් පළාත් මායිම් හරහා ගමන් කිරීමට අවස්ථාව හිමිවේ. මේ අතර අද දිනයේ සිට මුහුණු ආවරණ නොපලඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දීපව්‍යාප්තව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද පොලීසිය පවසයි.

මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට එකම පිළිතුර රට වසා දැමීම යැයි සැලකීම අපහසු බව කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙයි. ඇමරිකාව, එංගලන්තය මාස ගණනාවක් සිය රට වසා දමා තිබූ නමුත් නැවත විවෘත කිරීමෙන් පසු වෛරසය විශාල ලෙස පැතිරී යන බවද ඔහු පැවසීය.

එනිසා රට වසාදැමීම වෛරසය ව්‍යාප්තියට එකම උත්තරය ලෙස සැලකීමට අමාරු බව ද ඔහු කියා සිටී. රජයක් ලෙස මේ මොහොතේ සෑම පැත්තකින්ම ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඔහු සදහන් කරයි. මාධ්‍යවේදීන් කළ විමසීමකට පතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now