දින 02ක් තුල මිලියනයකට කොරෝනා එන්නත් (VIDEO)
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව පසුගිය දින දෙකක කාලය තුළ පුද්ගලයින් ලක්ෂ 10 කට වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා හත් ලක්ෂයක් අද (31) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ජපානයේ ප්‍රදානයක් ලෙස හිමිවන අදාළ එන්නත් තොගය රැගත් ගුවන් යානය අද පෙරවරුවේ එරටින් පිටත් වූ බව එරට ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර සඳහන් කළා.
ජපානය ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනැමෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 455 දරණ ගුවන් යානයට පැටවීම අද පෙරවරුවේ සිදු වුණා. ඒ ජපානයේ ටෝකියෝ නුවර නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි. අදාළ ගුවන් යානය අද පෙරවරු 11.20 ට නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වී ඇති අතර, එය පස්වරු 5.00 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට නියමිතයි.
අද රැගෙන එන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පිරිසට ලබාදීම සඳහා භාවිත කරන අතර, තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගයක් ලබන සෙනසුරාදා මෙරටට ලැබීමට නියමිත බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.
මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට දිනයේ විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා එම ස්ථානයේදී මෙන්ම දියත උයනේදීත් දෙවන මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඊයේ (30) අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් තුලදී ලක්ෂ 05 ඉක්මවා කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබෙනවා.
ඒ අනුව එලෙස ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන පන්ලක්ෂ 13,741 ක්. ඒ යටතේ පුද්ගලයින් හාරලක්ෂ 42,523 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබීමත් විශේෂත්වයක්. එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 66,219ක්. එසේම, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4,999 දෙනෙකුට ලබාදී තිබෙනවා.
අද දිනයේත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක අතර, ඒ අනුව දිස්ත්‍රික්ක 22 මධ්‍යස්ථාන 317 කදී එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනවා. ගෙවුණු දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2,460 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 05 දෙනෙක් විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින්. ඒ අනුව අඛණ්ඩව දෙවැනි දිනටත් දෛනික ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා ගියා.
මේ අතර, ජනාධිපති ලේකම් පි.බී.ජයසුන්දරගේ දැනුම්දීම මත සියලුම රාජ්‍ය සේවකයන් අගෝස්තු මස 02වැනි සඳුදා සිට සාමාන්‍ය පරිදි කැඳවීමේ චක්‍රෙල්ඛය නිකුත් කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කළා.
ඊට අදාළව කොරෝනා රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු වී තිබෙනවා. ඒ අනුව, ගැබිණි මව්වරුන් ඇතුළු සියළුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත්වුවහොත් ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |