මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද 03ක් හමුවෙයි...අති භයානක තත්ත්වයක්

Covid delta
By Aruna Aug 17, 2021 08:33 AM GMT
Aruna

Aruna

Report

මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේදයන් කිහිපයක් සිදුව ඇති බවට පර්යේෂකයින් විසින් කරුණු අනාවරණය කර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

SA 222 - V, SA 701-S සහ SA 10718-S යනුවෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ S ප්‍රෝටීනයේ ජාන කේතයේ විකෘති භාවයක් ලෙස හඳුන්වා ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

මේ අතර මේ මස 23 වන දා සිට 31 වන දා දක්වා ගැබිණි මව්වරුන් එන්නත්කරණයට ලක් කිරීමේ අරමුණෙන් එන්නත් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තමන් සිටින ස්ථානයට ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හෝ එන්නත්කරණ කටයුතු සිදුකරන ස්ථානයකට පැමිණ ගැබිණි මව්වරුන්ට එන්නත් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

බොහෝ ගැබිණි මව්වරුන් එන්නත්කරණයට දක්වන මැලිකම හේතුවෙනුයි මෙලෙස එන්නත් සතියක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලා සිටියේ 23 වන දා තෙක් නොසිට එන්නත ලබා ගත හැකි ඕනෑම මොහොතක එය ලබා ගන්නා ලෙසයි.

එමෙන්ම අවුරුදු 12 ත් 18 ත් අතර වයස්වල පසුවන ළමයින් එන්නත්කරණ කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර අදත් දිවයිනේ ස්ථාන රැසක එන්නත්කරණ කටයුතු සිදු කෙරුණා.

ඊයේ පමණක් පුද්ගලයින් දෙලක්ෂ 85,288කට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් දෙලක්ෂ 26,516කට ලබාදී ඇති අතර, එහි පළමු මාත්‍රාව 48,764 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 4235කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 826 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

එමෙන්ම, ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 4863 දෙනෙකුට සහ එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 84දෙනෙකුට ලබා දී තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now