කොවිඩ් ආසාදිත දරුවන්ගේ ප්‍රමාණය 03 ගුණයකින් වැඩි වෙයි..ඔක්සිජන් අවශ්‍යතාවයත් ඉහළ යයි!!!

Covid Oxygen Richway hospital Baby child
By Aruna Aug 02, 2021 03:22 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවත් මෙය පාලනය කර නොගතහොත් ඔක්සිජන් අවශ්‍යතාවත් ඉහළ යා හැකි හෙයින් මෙම තත්ත්වය භයානක විය හැකි බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

මේ හේතුවෙන් සෑම විටම දරුවන්ව සෞඛ්‍ය ආරක්ෂිතව නිවෙස් තුළම රඳවා ගැනීමට මව්පියන් කටයුතු කළ යුතු යැයිද පිටස්තර පුද්ගලයන් සමග ගැටීමට දරුවන්ට ඉඩ ලබා නොදෙන්නැයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය සතියට වඩා මේ සතිය තුළ කොවිඩ් වයිරසය ආසාදනය වූ දරුවන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර ඊයේ (1) දිනය වන විට රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ කොවිඩ් ආසාදිත දරුවන් 80ක් දෙනා ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසීය.

කොවිඩ් රෝගය සුව වුවද බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවන්ට දරුවන් ගොදුරු වීමේ අවදානමක් තිබෙන බවත් එය කොවිඩ් රෝගය සුව වී සති දෙක තුනක් ගිය පසුව ඇතිවන තත්ත්වයක් බැවින් ඒ පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයකින් පසු නොවුණහොත් දරුවන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්විය හැකි යැයි විශේෂඥවරයා පෙන්වා දේ.

දරුවන් අතර පැතිර යන කොවිඩ් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත නියදි යොමු කර ඇති බැවින් එහි වාර්තාවක් ලැබුණු පසුව නිවරදිව කිව හැකි යැයිද වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

කොවිඩ් රෝගයත් සමග ඩෙංගු වයිරසය ආසාදනය වූ දරුවන්ද ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ සංකූතාවන් ඇතිවීම වැඩිවන බැවින් එම දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැඩි කැපවීමක් කිරීමට සිදුව ඇතැයිද පැවසේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now