විශාල විදුලි අර්බුදයක අවදානම - ආණ්ඩුව නීතිපතිගෙන් උපදෙස් පතයි
දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල් අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණවලට අසමත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රටේ විදුලි බලශක්ති අර්බුදයක් ඇතිවීමේ බරපතල අවදානමක් මතුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම තත්ත්වය පිළිබඳව ගත හැකි නෛතික විකල්ප සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් සඳහන් කර තිබේ.
විපක්ෂය මේ වන විට චෝදනා කර සිටින්නේ සමස්ත ගල් අඟුරු ටෙන්ඩරයම දූෂණයෙන් ගිලී ඇති බවයි. අනාගත ගල් අඟුරු ටෙන්ඩර් සඳහා වඩාත් විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත්, දැනට පවතින ටෙන්ඩරයට කිසියම් වෙනසක් හෝ නීතිමය පියවරක් ගත හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමටත් රජය තීරණය කර ඇති බව එම නිලධාරියා පවසා තිබේ.
ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අභ්‍යන්තර ලේඛනවලින් පෙනී යන්නේ, ඉන්දියාවේ ට්‍රයිඩන්ට් චෙම්ෆාර් ලිමිටඩ් සමාගම හරහා මිලදී ගත් දකුණු අප්‍රිකානු ගල් අඟුරු අඛණ්ඩව නැව්ගත කිරීම් තුනකදීම ගුණාත්මක පරීක්ෂණවලට අසමත් වී ඇති බවයි.
නිල දත්තවලින් සනාථ වන්නේ, සෑම නැව්ගත කිරීමකදීම ගල් අඟුරුවල දළ කැලරි වටිනාකම (Gross Calorific Value - GCV) බලාගාරයේ ඒකක තුනෙහි ප්රශස්ත විදුලිය ජනනය කිරීමට අවශ්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු බවයි. මෙය බලාගාරයේ ධාරිතාවය සීමිත කිරීමට සහ ඉදිරි මාසවලදී විදුලි කප්පාදු තීව්ර වීමට හේතු විය හැකි බව වාර්තාවේ සඳහන් වේ.
මෙම තත්ත්වය රටේ විදුලි බලශක්ති සැපයුමට බරපතල බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, රජය මෙම ගැටළුවට නීතිමය මෙන්ම ප්‍රායෝගික විසඳුම් සෙවීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බව ද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.