පාසල් ළමුන් 9දෙනෙකු අපයෝජනය කල කපුවා දරුවන් පොළඹවා ගත් හැටි හෙළිකරයි

Sri Lanka Police Sri Lanka Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Aug 12, 2022 02:44 PM GMT
Sithumi

Sithumi

Report

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා මත උණවටුන, මැටරඹ ප්‍රදේශයේ දේවාලයක කපුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය. සැකකරු ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර දරුවන් 09 දෙනෙකු අපයෝජනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

පාසල් සිසුන් අපයෝජනයට සැකපිට මෙම කපුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදුවූ සිද්ධියක් පිළිබඳ ඇරඹුණු විමර්ශනයකින් අනතුරුවය. එම පාසලේ සිසුන් දෙදෙනෙකු ජංගම දුරකථනයකින් අසභ්‍ය දර්ශන නැරඹීමක් සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා පරීක්ෂණයක් සිදුකර තිබුණි.

එහිදී, එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් අරඹා ඇත්තේ ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් තවත් තොරතුරු සමග ලද නිර්නාමික පෙත්සමක් මතය. උණවටුන, මැටරඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන මෙම සැකකාර කපුවා කුඩා ළමයින් අපයෝජනය කර ඇති බව එම විමර්ශනයේදී අනාවරණ වී තිබේ.

සැකකරු විසින් අපයෝජනය කළ ළමයින් ගාල්ල සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර පසුවන්නන් බව අනාවරණය වී ඇත. සැකකාර කපුවා වරකට එක් දරුවෙකුට රුපියල් විසිපන්දහසේ සිට රුපියල් පනස්දහස දක්වා මුදල්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන සහ ටැබ් ලබාදී ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකාර කපුවා මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනි නාලිකාවල ජ්‍යොතිෂ්‍ය වැඩසටහන්වලට ද සහභාගී වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඔහු කොළඹට පැමිණෙන අවස්ථාවල, නාරාහේන්පිට හා අතුරුගිරිය යන ප්‍රදේශවල ඔහුට අයත් සුපිරි මහල් නිවාස දෙකකදී මෙලෙස ළමුන් අපයෝජනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත. 

 මොහු දරුවන්ට උදව් කරන මුවාවෙන් ඔවුන් අපයෝජන සඳහා පොළඹවා ගෙන ඇති බව වාර්තා විය. පොලීසිය පැවසුවේ මෙම සැකකර කපුවා එම දරුවන් මාර්ගයෙන් ඔවුන්ගේ මිතුරන් ද අපයෝජනය කර ඇති බවය. එමෙන්ම අපයෝජනයට ලක්වූවන් අතර සෙත් ශාන්ති සිදුකර ගැනීමට මව්පියන් සමග පැමිණි දරුවන් ද සිටී. සැකකරු පළමුව දරුවන්ට උදව් උපකාර කොට ඔවුන්ගේ මව්පියන්ගේ සිත් දිනාගනිමින් මෙම අපරාධ සිදුකර ඇති බව වාර්තා වේ.

මොහු නිර්මාංශික පුද්ගලයෙකු වන අතර ඔහුට පෞද්ගලික ආරක්ෂකයන් 09 දෙනෙකු ද සිටී. ඔහු සතුව අසීමිත මුදලක් පැවැතීම හේතුවෙන් අපයෝජනයට ලක්වන දරුවන්ට විශාල වශයෙන් මුදල් වියදම් කර ඇති බව පොලීසිය පවසයි. සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු දකුණු පළාතේ උසස්ම පොලිස් නිලධාරීන් රැසක් සැකකරු නිදහස් කරන්නැයි පවසමින් එම නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එක්තරා උසස් නිලධාරියෙක්, මෙම කපුවා පොලිස් කූඩුවට නොදමා ඉන් පිටතින් තබන ලෙසට ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා විය. එමෙන්ම සැකකාර කපුවා දකුණු පළාතේ පොලිස් ස්ථාන රැසකට මාසිකව සන්තෝෂම් වශයෙන් විවිධ වරදාන වරප්‍රසාද ලබාදෙන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහු දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියෙකුගේ භාවිතය සඳහා රියදුරෙකු ද සමග අධි සුඛෝපභෝගී වාහනයක් ද ලබා ඇති බව වාර්තා වේ. දකුණු පළාතේ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් විවිධ උදව් උපකාර වෙනුවෙන් මොහුගේ දේවාලයට යන බැවින් ඔවුන් මෙම කපුවාට භක්තිවන්තව ගෞරව කරන බවද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර කපුවා ඊයේ (11) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන 23වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW