තල්මසුන්ට සහ ඩොල්ෆින් සතුන්ට නව අවදානමක් - සාගරයේ දැවැන්තයන්ටත් රසායනික තර්ජනයක්
ලොව පුරා මුහුදේ ජීවත් වන තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ගේ ශරීර තුළ ‘Forever Chemicals’ ලෙස හඳුන්වන PFAS (Per- and Polyfluoroalkyl Substances) රසායනික ද්‍රව්‍යවල මට්ටම් 2000 වසරෙන් පසු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නව ජාත්‍යන්තර පර්යේෂණයක් හෙළි කරයි. විද්‍යාඥයන් පවසන්නේ, මෙම රසායනික ද්‍රව්‍ය මිනිසුන්ගෙන් ඈත ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශවල ජීවත් වන තල්මසුන්ට පවා ළඟා වී ඇති අතර, සාගර පරිසරය මුහුණ දෙන බරපතළ දූෂණ ගැටලුවක් මෙයින් පිළිබිඹු වන බවයි.
PFAS හෙවත් ‘Forever Chemicals’ යනු මොනවාද? PFAS යනු උෂ්ණත්වයට, තෙතමනයට සහ තෙල්වලට ඉතා හොඳ ප්‍රතිරෝධයක් දක්වන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය සමූහයකි. ඒවා නොඇලෙන (Non-stick) කෑම පිසින භාජන, ජලය නොඇලෙන ඇඳුම්, පැල්ලම් නොඇලෙන කාපට්, ගිනි නිවන පෙන සහ විවිධ කාර්මික නිෂ්පාදන සෑදීමට වසර ගණනාවක් තිස්සේ භාවිත කර ඇත.
කෙසේ වෙතත්, මෙම රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් පසු ස්වභාවිකව විනාශ නොවන අතර, දශක ගණනාවක් පරිසරයේ පවතින බැවින් ඒවා "Forever Chemicals" ලෙස හැඳින්වේ. රසායනික ද්‍රව්‍ය මුහුදට ළඟා වන්නේ කෙසේද? නිෂ්පාදන කර්මාන්තවල අපද්‍රව්‍ය, කාර්මික ජලය, අපජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ගිනි නිවන පෙන හරහා PFAS ජලයට එක්වේ.
එම ද්‍රව්‍ය ගංගා සහ ඇළ මාර්ග ඔස්සේ මුහුදට ගමන් කරයි. මුලින්ම කුඩා ජලජ ජීවීන් ඒවා අවශෝෂණය කරන අතර, එම ජීවීන් මත්ස්‍යයන් විසින් ආහාරයට ගනී.
පසුව විශාල මාළු සහ අවසානයේ තල්මසුන් හා ඩොල්ෆින් වැනි ඉහළම දඩයම්කරුවන්ගේ ශරීර තුළ මෙම රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණවලින් එකතු වේ.මෙම ක්‍රියාවලිය ජෛව සමුච්චය (Bioaccumulation) ලෙස හඳුන්වයි. පැසිෆික් සාගරයේ සතුන් වැඩිම අවදානමක මෙම අධ්‍යයනය සඳහා ලොව පුරා තල්මසුන් සහ ඩොල්ෆින් විශේෂවල අක්මාවෙන් ලබාගත් සාම්පල විශ්ලේෂණය කර තිබේ.
ඒ අනුව පැසිෆික් සාගරයේ ජීවත් වන සතුන් තුළ PFAS මට්ටම් ඉහළම බව හෙළි වී ඇති අතර, විශේෂයෙන් Humpback Dolphins විශේෂයේ රසායනික දූෂණය අනෙක් විශේෂවලට වඩා වැඩි බව සොයාගෙන ඇත.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කාර්මික කලාප සහ නාගරික වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ජීවත් වන ඩොල්ෆින් සහ Porpoise විශේෂ වැඩි අවදානමකට ලක්ව ඇති බවයි. මව් සතුන්ගෙන් පැටවුන්ටත් රසායනික දූෂණය පර්යේෂණයට අනුව, ගැහැණු තල්මසුන් සහ ඩොල්ෆින් ගර්භණී සමයේදී සහ කිරිපෝෂණ කාලයේදී PFAS රසායනික ද්‍රව්‍ය තම පැටවුන්ට මාරු කළ හැකිය.
එම නිසා පැටවුන් උපන් මුල් අවධියේදීම මෙම දූෂකවලට නිරාවරණය වීමේ අවදානමක් පවතී. කෙසේ වෙතත්, මෙම රසායනික ද්‍රව්‍ය පැටවුන්ට ලබා නොදෙන පිරිමි සතුන්ගේ ශරීර තුළ PFAS ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි බවද අධ්‍යයනයෙන් හෙළි වී ඇත.
සමුද්‍ර පරිසරයේ සෞඛ්‍යයට අනතුරු ඇඟවීමක් තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් සාගර ආහාර දාමයේ ඉහළම ස්ථානයේ සිටින නිසා, ඔවුන්ගේ ශරීරයේ ඇති දූෂක මට්ටම් මුළු සමුද්‍ර පරිසරයේම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැදගත් දර්ශකයක් ලෙස සැලකේ.
මානව අධ්‍යයන සහ සත්ව පර්යේෂණවලදී PFAS රසායනික ද්‍රව්‍ය ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කිරීම, හෝමෝන වෙනස්කම්, ප්‍රජනන ගැටලු සහ වර්ධන ආබාධ සමඟ සම්බන්ධ වී ඇති බව හඳුනාගෙන තිබුණද, තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ට එහි දිගුකාලීන බලපෑම් පිළිබඳ තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව විද්‍යාඥයෝ පවසති.
PFAS පාලනය සඳහා දැඩි නීති අවශ්‍යයි පර්යේෂකයන් අවධාරණය කරන්නේ, මෙම රසායනික ද්‍රව්‍ය සාගරයට ගලා යාම අවම කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ දැඩි නියාමන ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි. යුරෝපා සංගමය මීට වසර 20කට පමණ පෙර PFAS වර්ග කිහිපයක් තහනම් කිරීමෙන් පසු මධ්‍යධරණී මුහුදේ ඇතැම් පැරණි PFAS සංයෝගවල මට්ටම් අඩුවී ඇති බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
එහෙත්, සමස්තයක් ලෙස ලොව පුරා තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ගේ PFAS දූෂණය තවමත් ඉහළ යමින් පවතින බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ, මුහුදට එක්වන රසායනික ද්‍රව්‍ය අතුරුදන් නොවන අතර, ඒවා අවසානයේ සාගර ජීවීන්ගේ ශරීර තුළ එකතු වන බවයි.
එබැවින් PFAS දූෂණය පාලනය කිරීම සමුද්‍ර පරිසරය සහ අනාගත පරපුර ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් බවද පර්යේෂණය අවසන් වශයෙන් අවධාරණය කරයි.