පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාව සැකසූ SRI LANKA'S EASTER BOMBINGS : DISPATCHES වීඩියෝව එරට වේලාවෙන් ඊයේ (05) රාත්‍රී 11.05 ට විකාශය කෙරිණ.
විනාඩි 50කට ආසන්න එම වැඩසටහන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන අතර එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබිණ.
මෙරට මූල්‍ය චෝදනාවලට ලක්ව මේ වන විට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙක් ලෙස අසාද් මවුලානා සඳහන් කළ හැකිය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව දීර්ඝ විචාරයක් ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව විවිධ චෝදනා මෙම වාර්තා වැඩසටහන මගින් සිදුකර තිබෙනවා.
එමෙන්ම මෙම වීඩියෝවේ අසාද් මවුලානා ද එම චෝදනා තහවුරු කරන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කර තිබුණු අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ ද එහි දී වැඩි කාලයක් වෙන කර තිබිණ.
මෙහිදී ආසාද් මවුලානා සඳහන් කළේ එවක රජය පිල්ලෙයාන් කණ්ඩායම සමග එක්ව ට්‍රිපොලි ප්ලැටූන් නැමැති සන්නද්ධ කල්ලිය බිහිකිරීමට කටයුතු කළ බවයි.
එමෙන්ම ඔවුන් මාධ්‍ය මර්දනයට සහ ප්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා යොදාගත් බව වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.
ගානියා ෆ්‍රැන්සිස් සුදුවෑන් චෝදනා සිද්ධිය අතරතුර රටින් පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ නිශාන්ත සිල්වා, සුදුකොඩි නඩුවේ සාක්ෂිකාරිනියක වූ මාධ්‍යවේදිනි ෆෙඩ්රිකා ජෑන්ස්, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොයුරු ලාල් වික්‍රමතුංග සහ නම් සඳහන් නොකළ වෙනත් පුද්ගලයන්ගේ ප්‍රකාශ ද පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සඳහා යොදා ගෙන ඇත.
එමෙන්ම කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්බිකා සද්ගුණනාදන් මහත්මිය, හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ මහතාගේ ප්‍රකාශ ද මෙයට ඇතුළත් කර තිබෙනවා.
මෙහිදී ආසාද් මවුලානා කියා සිටි තවත් කරුණක් වූයේ පිල්ලෙයාන්ගේ උපදෙස් වලට අනුව පසුව 2018 වසරේ ජනවාරි මාසයේ පුත්තලමේ කරදිපුල් ප්‍රදේශයේ පොල් වගා කළ ගොවිපොළක දී එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානය කිරීමට තමා පියවර ගත් බවයි.
ඒ සඳහා සහරාන් ඇතුළු තවුහිද් ජමාත් සාමාජිකයන් 6 දෙනෙකු ද සහභාගී වූ බව වැඩිදුරටත් ඔහු පැවසීය.
එහිදී ආසාද් වෙත ආ සුරේෂ් සලේ විසින් රාජපක්ෂවරුන්ට බලයට පැමිණීම සඳහා රට තුළ අනාරක්ෂිත වාතාවරණයක් ඇති කළ යුතු බව පැවසුවා යන්නත් ඔහු කියා සිටියේ ය.
ඒ එම හමුව අවසානයේ දී ය.
මෙම චැනල් ෆෝ නාලිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කර ඇත්තේ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ 'බෙන් ඩි පෙයාර්' විසින් ය.
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත අදාළ වැඩසටහනට තොරතුරු ලබාදුන් අය එල්ල කරන චෝදනා හතරක් යොමුකර ඇත.
ඒ අනුව එම ප්‍රශ්නාවලියට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පිළිතුරු ලිපියක් යොමු කරමින් එම චෝදනා කරුණු සහිතව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම චැනල් ෆෝ වීඩියෝවේ ඒ බව ද සඳහන් කර ඇත.
එහිදී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පෙන්වා දෙන්නේ එම චෝදනා මුළුමනින්ම අසත්‍ය බව මෙන්ම අදාළ හමුව සිදුවූයේ යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ රැඳී සිටි බව සහ පාස්කු ප්‍රහාරය වන සමයේ තමා ඉන්දියාවේ පුහුණු වැඩසටහනකට සහභාගි වෙමින් සිටි බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විශ්වසනීය සාක්ෂිවලින් තොරව තමාගේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ චෝදනා ඇතුළත් අදාළ වාර්තා වැඩසටහන විකාශය කළහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවයි.
ඒ බව ඔහු මෙම වැඩසටහන නිෂ්පාදනය කළ බෙන් ඩි පෙයාර්ට සඳහන් කර තිබෙනවා.
විඩියෝ දර්ශන - Ada Derana YouTube Channel
