පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 දියත් කළ ආන්දෝලනාත්මක වීඩියෝවේ තිබුණේ මොනවද..?හැමෝම හෙව්ව සම්පූර්ණ කතාව මෙන්න (VIDEO)

Sri Lanka Easter Attack Sri Lanka Channel 4 Easter Attack Channel 4
By Sewvandhi Sep 08, 2023 01:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාවේ අලුත්ම මතභේදාත්මක වීඩියෝපටය SRI LANKA'S EASTER BOMBINGS ; DISPATCHES යන නමින් පසුගියදා ප්‍රචාරය කළා. එහි ඇතුළත් වූයේ මෙරට පාස්කු ප්‍රහාරය සහ රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වී ඇති විවිධ චෝදනා පිළිබඳවයි.මෙම වීඩියෝ පටය මිනිත්තු 50කට ආසන්න කාලයක් පුරා ධාවනය වුණා.

මෙහි තොරතුරු මූලාශ්‍ර ලෙස යොදාගෙන තිබුණේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර - දැන් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා , ගානියා ෆ්‍රැන්සිස් සුදුවෑන් චෝදනා සිද්ධිය අතරතුර රටින් පලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි නිශාන්ත සිල්වා කන්දප්පා , සුදුකොඩි නඩුවේ සාක්ෂිකාරිනියක වූ මාධ්‍යවේදිනි ෆෙඩ්රිකා ජෑන්ස් , ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග , ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්බිකා සද්ගුණනාදන් , හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යන පිරිසයි.

කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ , දැන් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා මෙවර ඔවුන්ගේ වීඩියෝපටයේ ප්‍රධාන මූලාශ්‍රය බවට පත්ව තිබුණා.

මෙරට හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට ප්‍රකාශයක් ඔහු එහිදී සිදුකර තිබෙනවා.

voice cut - අසාද් මවුලානා ( මම සත්‍ය දන්නවා, මම මෙහි සිටින මහ මොළකරුවන් වගේම මෙහි ප්‍රධාන සංවිධායකයින් ඔවුන් වසර ගණනාවක් පුරා මෙය සංවිධානය කළේ)

මෙම අනාවරණය සිදුකළ අසාද් මවුලානා මෙරට තුළ රුපියල් ලක්ෂ 1,000 කට අධික මුදල් ගනුදෙනුවලට සම්බන්ධව සිට විදේශයකට පලා ගිය පුද්ගලයකු බව ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුණා. පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් පැවති බව කියාපෑම සඳහා චැනල් ෆෝ වීඩියෝව මෙරට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශයක්ද ලබාගෙන තිබුණා.

එහිදි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්පවසා තිබුණේ මෙම ප්‍රහාරය බලය ලබාගැනීම සඳහා මෙරට ඉහළපළේ නිලධාරීන් රැසක් එක්ව සිදුකළ කුමන්ත්‍රණයක් බවයි.

චැනල් ෆෝ වීඩියෝව මීට අදාළව තවත් මූලාශ්‍රයක් ලෙස යොදාගෙන තිබුනේ ගානියා ෆ්‍රැන්සිස් සුදුවෑන් චෝදනා සිද්ධිය අතරතුර රටින් පලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ නිශාන්ත සිල්වා කන්දප්පා යන මහතායි එහිදි ඔහු පවසා තිබුණේ මම රටින් පැනලා ගියේ බුද්ධි අංශ හා ගෝඨාභයගෙන් ඇති ජිවිත තර්ජන නිසා බවයි.

පාස්කු ප්‍රහාරයට අමතරව රාජපක්ෂවරුන්ට එරෙහි විවිධ චෝදනා පිළිබඳවද මෙම වීඩීයෝවේ වාර්තා කර තිබෙනවා. සුදුකොඩි නඩුවේ සාක්ෂිකාරිනියක වූ මාධ්‍යවේදිනි ෆෙඩ්රිකා ජෑන්ස් සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග යන අය උපුටා දක්වමින් ඔවුන් ලසන්ත ඝාතනය ගැන සැක මතු කර තිබුණා.

මේ අතර චැනල් ෆෝ නාළිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ බෙන් ඩි පෙයාර් විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙත ඉකුත් අගෝස්තු 7 වැනිදා අදාළ වැඩසටහනට තොරතුරු ලබාදුන් අය එල්ල කරන චෝදනා හතරක් යොමුකර තිබුණා.

එම ප්‍රශ්නාවලියට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අගෝස්තු 9 වැනිදා පිළිතුරු ලිපියක් යොමු කරමින් එම චෝදනා කරුණු සහිතව ප්‍රතික්ෂේප කර ඇති අතර චැනල් ෆෝ වීඩියෝවේ ද ඒ බව සඳහන් කොට තිබෙනවා.

එහි ප්‍රධාන වශයෙන්ම විමසා තිබුනේ 2018 වසරේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ තවුහිද් ජමාත් සාමාජිකයන් සමග සාකච්ඡාවක් පැවැත්වීද යන්න සහ එම හමුව අවසානයේ රටේ බල පෙරළියක් සඳහා අස්ථාවර වාතාවරණයක් රාජපක්ෂවරුන් අපේක්ෂා කරන බව පැවසුවේද යන්නයි.

අදාළ චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත් , තවුහිද් ජමාත් සාමාජිකයන් හමු වී යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ රැඳී සිටි අතර පාස්කු ප්‍රහාරය වන සමයේ තමා ඉන්දියාවේ පුහුණු වැඩසටහනකට සහභාගිවෙමින් සිටි බව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය පිළිතුරෙන් පෙන්වා දී තිබෙනවා.

2016 ඔක්තෝබර් මස රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස මැලේසියාවට ගිය තමන් යළි 2017 දෙසැම්බර් මස දින 6 ක කාලයකට පමණක් මෙරටට පැමිණි බවත් නැවතත් දිවයිනට පැමිණියේ 2018 දෙසැම්බර් 23 වන අතර චෝදනා එල්ල කරන හමුව පැවති බව කියන කාලවකවානුවේ මෙරට රැඳී නොසිටි බවත් ඔහු සඳහන් කරනවා.

ඒ බව අදාල රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගෙන් තහවුරු කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව සිය කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ කරුණු ඇතුළත් අදාළ වාර්තා වැඩසටහන විකාශය කළහොත් බ්‍රිතාන්‍යය ඇතුළු අධිකරණ බලසීමාවන්හි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ බෙන් ඩි පෙයා වෙත යැවූ ලිපියේ දැක්වෙනවා.

එමෙන්ම බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනය එවූ ලිපියට සිය නීතිඥ පසන් වීරසිංහ මහතා විසින් ඉදිරියේදී වඩාත් විස්තරාත්මක ප්‍රතිචාරයක් ඉදිරිපත් කරනු ඇති බවත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා දන්වා තිබෙනවා.

 - සිතුමි -


ReeCha