හදිසියේ සියලු විදුලි සේවකයන් සම්බන්ධයෙන් රජය ගත් තීරණය මෙන්න.

Sri Lanka Power cut Gamini lokuge Ceylon electricity bord
By Aruna Nov 03, 2021 03:18 AM GMT
Aruna

Aruna

Report

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මත, වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (නොවැ: 2) සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු ම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම මස සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය වෙත තොරතුරු ලැබී ඇති නිසා රටට අඛණ්ඩව විදුලිය සැපයීම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකීමක් බැවින් එම සේවා අවශ්‍යතාව සලකා බලා මෙම චක්‍රලේඛය නිකුත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මෙම චක්‍රලේඛය නිකුත් කළ ද අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට හෝ අදාළ අංශයට අනුයුක්ත පළමු වන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් විදුලිබල සේවකයන්ට නිවාඩු ලබාදිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.

මේ අතර ඇතැම් වෘත්තීය සමිති තර්ජන කළද අද (බදාදා) විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ රාත්‍රියේ ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

අද දිනයේදී විදුලි සැපයුමට අදාළ මෙහෙයුම් කටයුතු සාමකාමීව සිදුකරන බවට විදුලිබල වෘත්තීය සමිති බොහොමයක් සහතික වී ඇති බවද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණක් අද වැඩවර්ජන කරන බවට තර්ජනය කර ඇති නමුත් විදුලි සැපයුමට එයින් බලපෑමක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල අංශයේ ප්‍රධාන සේවකයින් වැඩ නතර කළහොත් විදුලිය සුමටව සැපයීමට පියවර ගෙන තිබේදැයි විමසූ විට, අවශ්‍ය පූර්වාරක්ෂාවන් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සහතික විය.

විදුලිබල සැපයුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවයක් නොමැති නිසා හමුදාව සීරුවෙන් තබා නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now