ලංකාවේ ණය සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්!..අලුත්ම වාර්තාවක් එළියට එයි.
2024 දී පමණට වඩා ණය ගැනීමට සිදුවීමේ අවදානමක ආණ්ඩුව නොසිටින බව පැහැදිලි යැයි වෙරිටේ රිසර්ච් “Factcheck.lK” නිකුත් කර ඇති අලුත්ම දත්ත වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
2024 අයවැය ඇස්තමේන්තුවලට අනුව මෙම වසරේ දළ මූල්‍යන අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩුව දක්වා ඇති සීමාව රුපියල් බිලියන 3,670 ක් බවයි පැවසෙන්නේ.
ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ආණ්ඩුව සැබවින්ම ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,903 ක් බව මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව පෙනී යනු ලැබේ.
එහෙයින්, අයවැයේ දක්වා ඇති සීමාව එනම්, රුපියල් බිලියන 3,670 තෙක් සීමාව සැලකිල්ලට ගැනීමේදී, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය ඇතුළත තවත් රුපියල් බිලියන 1,766ක මුදලක් ණයට ගැනීමට ආණ්ඩුවට හැකියාව පවතී.
ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවී ඇති කාලයේ රුපියල් බිලියන 956කින් ණය තොගය ඉහළ ගොස් තිබේ.
ණය තොගයේ වැඩිවීමට අයවැයෙන් පනවා ඇති ඉහත සීමාව සැලකිල්ලට ගත් විට මෙහි අර්ථය නම්, ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වා තවත් රුපියල් බිලියන 1,445ක ණය ගැනීමේ අවකාශයක් ආණ්ඩුවට තිබුණු බවයි.
අයවැය පරතරය පියවා ගැනීමට අවශ්‍ය වන මුදල දේශීය සහ විදේශීය ණය ඇසුරින් සපුරා ගැනීමට යන්නේ කෙසේ දැයි යන්නත් අයවැයේ දක්වා තිබේ.
එම පදනමේ සිට ඉහත දැක්වූ රුපියල් බිලියන 1,445ක ණය අවකාශය ගත් විට දේශීය මට්ටමින් ලබාගන්නා රුපියල් බිලියන 1,030ක ණයවලින් සහ විදේශීය මට්ටමින් ලබාගන්නා රුපියල් බිලියන 415ක ණයවලින් එය පියවා ගැනීමට අපේක්ෂිත විය.
ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය අතරතුර දේශීය ණය තොගය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371කින් පමණි.
එනම්, දෙසැම්බර් මාසය දක්වා දේශීය මට්ටමින් ගන්නා ණයවලට අයවැයෙන් පනවා ඇති සීමාව සැලකිල්ලට ගත් විට (රුපියල් බිලියන 1030), දෙසැම්බර් මාසයේදී තවත් රුපියල් බිලියන 659ක ණය ගැනීමේ අවකාශයක් ආණ්ඩුවට ඇත.
ප්‍රතිඵලය – දෙසැම්බර් මාසය වන විටත් මේ සා ණය ප්‍රමාණයක් ගැනීමට අවකාශය ඉතිරිව තිබීමෙන් පෙනී යන්නේ 2024 වසරේ ආණ්ඩුව දේශීය මට්ටමින් ලබාගන්නා සමස්ත ණය මුදල පැහැදිලිවම අයවැයෙන් දක්වා ඇති සීමාව ඇතුළත පවතින බවය.
දළ මූල්‍යන අවශ්‍යතාවය සහ ණය තොගයේ වැඩිවීමට අදාළව පනවා ඇති සීමාවන් ඇසුරේ ඉහත ප්‍රතිඵල සැලකිල්ලට ගත් විට 2024 වසරේදී පමණට වඩා වැඩියෙන් ණය ගැනීමට සිදුවීමේ අවදානමක ආණ්ඩුව නොසිටින බව පැහැදිලි වනවා.
You May Like This Video