බුත්තලමටම ඇහෙන්න ඇවිලුණු ගින්නෙන් පිළිස්සුණු මව මරු තුරුළට - පියා සහ දියණිය තවමත් රෝහලේ
බුත්තල, නාමණ්ඩිය නව ගම්මානයේ නිවසක ඇති වූ ගින්නකින් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි මව අද (18) දින උදෑසනදී ජීවිතක්ෂයට පත්ව ඇත. එසේ අවාසනාවන්ත ආකාරයට ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කේ.ඩී. සුරජි සකුන්තලා නමැති කාන්තාවක් නව වාර්තා වේ.
ඊයේ (17) දින උදෑසන බුත්තල - මොණරාගල මාර්ගයේ මහගොය රජයේ ධාන්‍ය ගබඩාව ආසන්නයේ පිහිටි මෙම නිවෙසේ කාමරයක් තුළ ගින්න හටගෙන තිබුණු බව බුත්තල පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව කාමරයේ තිබූ පෙට්‍රල් බූලියකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පියා, මව සහ කුඩා දියණිය බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබ තිබුණා.
ඔවුන් වේදනාවෙන් කෑගසන හඬ ඇසී වහා එතැනට පැමිණි අසල පිහිටි රජයේ ධාන්‍යාගාරයේ කළමනාකාරවරයා සහ අසල්වාසීන් එක්ව තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනාම මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය අතර, එහිදී තත්ත්වය අසාධ්‍ය වූ මව අද උදෑසන මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
එම අනතුරින් තුවාල ලැබූ ඇයගේ සැමියා වන ජේ.එම්. දිලුක්ෂ මධුසංඛ (29) සහ දියණිය වන ජේ.එම්. ඔනල්යා (03) යන දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මහේස්ත්‍රාත් පූර්ණා ශ්‍යාමලී විසින් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.
එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ජේ. බණ්ඩාරගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බව වාර්තා වේ.