කොමර්ෂල් බැංකු ගිණුම්අ නතුරේ - තවත් ව්‍යාපාරිකයකුගේ ලක්ෂ 20ක් අතුරුදහන්
කොමර්ෂල් බැංකුවේ (Commercial Bank of Ceylon PLC) ඩිජිටල් බැංකුකරණ පද්ධතිය සමාන ව්‍යාජ වෙබ් අඩවි හා යෙදුම් හරහා සිදුවන සයිබර් වංචාවන් නිසා පාරිභෝගිකයින්ගේ මුදල් කොල්ලකෑම් මේ දක්වා නැවැත්වීමට බැංකුවට නොහැකි වී ඇති බව වාර්තා වේ.
උඩුගම්පොළ, ඉහළ උඩුගම්පොළ පදිංචි වාහන ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්. එම්. සී. වික්‍රමසිංහ මහතා විසින් තම කොමර්ෂල් බැංකු ගිණුමෙන් රුපියල් 1,999,777ක මුදලක් සොරාගෙන ඇති බවට ඊයේ (09) පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිලිකරු බැංකුවේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අදාළ බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතියට සූක්ෂම ලෙස අනවසරයෙන් ඇතුළු වීම හා එහි ඩිජිටල් පද්ධතිය සමාන ව්‍යාජ යෙදුම් හා වෙබ් අඩවි භාවිතයෙන් සිදුකර ඇති වංචා රැසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වී ඇති පැමිණිලි කිහිපයක් මේ වන විට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයක විභාග වෙමින් පවතී.
කොමර්ෂල් බැංකුවේ සයිබර් ආරක්ෂණ පද්ධතියේ හිලක් ඇති බව අපි මීට මාස පහකට ආසන්න කාලයකදී වාර්තා කර තිබුණි. එහි පාරිභෝගිකයෙකු විසින් තම ගිණුමෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් සොරාගෙන ඇති බවට මීගමුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
වාහන ව්‍යාපාරික ඩබ්ලිව්. එම්. සී. වික්‍රමසිංහ මහතා විසින් සිය මුදල් නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට සිදු කළ පැමිණිල්ලේ ලදු පත

ව්‍යාපාරිකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ ලිඛිත පැමිණිල්ල

අදාළ ව්‍යාපාරිකයාට සිය මුදල් වෙනත් ගිනුමකට බැරවී ඇති බවට කොමර්ෂල් බැංකුවේ SMS පද්ධතියෙන් ලැබුණු SMS එක.


මීට අමතරව, බැංකුවේ සයිබර් ගැටලු මතුවීමෙන් මාසයකට පසුව සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කොමර්ෂල් බැංකුවේ තම කොටස් රුපියල් බිලියන 5.5කට විකුණා දැමීම සිදු කර තිබුණි. මෙම විකුණුම් කොළඹ කොටස් හුවමාරුවේදී කොටසකට රුපියල් 195 බැගින් හුවමාරු 39කදී සිදුව ඇති අතර, මිලියන 26.55ක ඡන්ද හිමි කොටස් මෙලෙස විකුණා ඇත. සමස්තයක් ලෙස මිලියන 29ක කොටස් රුපියල් බිලියන 5.68කට හුවමාරු වූ අතර එය ඔහුගේ කොටස් ප්‍රමාණයෙන් 43%කි.
ධම්මික පෙරේරා මහතාගේ මෙම කොටස් විකුණුම් බැංකුවේ සයිබර් ගැටලු හේතුවෙන් සිදුවූවක්ද යන්න පිළිබඳ වෙළඳපොළේ කටකතා ඇති අතර, එය ඔහුගේ වෙළෙඳ ආයෝජන (trading portfolio) කොටසක් බවත්, උපායමාර්ගික (strategic) ආයෝජනයක් නොවන බවත් සඳහන් වේ.
ජුනි මාසය අවසානය වන විට ඔහු සතුව ඡන්ද හිමි කොටස් මිලියන 39.2කට ආසන්න ප්‍රමාණයක් (2.5%) තිබූ අතර, ඔහු 11වන විශාලතම කොටස් හිමියා ලෙස සැලකිණි. පසුගිය වසර අවසානයේදී ඔහු 8වන විශාලතම කොටස් හිමියා වූ අතර කොටස් ප්‍රමාණය 3.66%කි (මිලියන 55.2ක්).
කොමර්ෂල් බැංකුවේ නිලධාරීන් මෙම වංචාවන් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ව්‍යාජ වෙබ් අඩවි හඳුනාගැනීමට URL හරියට ටයිප් කිරීම, සැක සහිත ලින්ක් මත ක්ලික් නොකිරීම හා OTP හෝ මුරපද බෙදා නොගැනීම යන උපදෙස් ලබා දී ඇත.
සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දෙන පරිදි AI තාක්ෂණයේ දියුණුවත් සමඟ ව්‍යාජ වෙබ් අඩවි සෑදීම පහසු වී ඇති බැවින් පාරිභෝගිකයින් වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙම සිදුවීම් හේතුවෙන් බැංකුවේ පාරිභෝගිකයින් සමහරෙකු ගිණුම් තබාගැනීමට පසුබට වී ඇති බවද වාර්තා වේ.
ඩිජිටල් බැංකු පද්ධතිය ආරක්ෂිතයි – කොමර්ෂල් බැංකුව
මේ අතර, කොමර්ෂල් බැංකුව සිය නිල සමාජ මාධ්‍ය හරහා මෙන්ම වෙළඳ දැක්වීම් හරහාද නිරන්තරයෙන් කියා සිටින්නේ සිය ඩිජිටල් බැංකු පද්ධතිය ආරක්ෂිත බවයි.