වැරදි ඊමේල් එකක් නිසා පවුම් මිලියන 4.5ක නඩුවක පැටලුණු නීතිඥයෝ- ලංකාවේදී පොල් ගසකට යටවූ බ්‍රිතාන්‍ය කතගේ නඩුවේ අලුත්ම තත්ත්වය
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී පොල් ගසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්, සිය වන්දි නඩුව අසාර්ථක වීමට හේතුවූ බව කියන බ්‍රිතාන්‍ය නීතිඥ සමාගමකට එරෙහිව පවුම් මිලියන 4.5ක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ.
ක්ලෙයාර් සේවෙල් (Claire Sewell) නමැති මෙම කාන්තාව 2017 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. ඇය මෙරට පිහිටි තරු හතරේ හෝටලයක වෙරළ තීරයේ හිරු එළිය විඳිමින් සිටියදී අඩි 50ක් පමණ උස පොල් ගසක් ඇගේ දෙපා මතට කඩා වැටී තිබේ.
මෙම අනතුරින් ඇගේ දෙපා බරපතළ ලෙස තුවාල වී ඇති අතර, ප්‍රතිකාර සඳහා ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. එහිදී ශල්‍යකර්ම කිහිපයකට ද මුහුණ දීමට සිදුව ඇති ඇය, වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව බ්‍රිතාන්‍යයට ගොස් ඇත.
අනතුරින් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් රැකියාවේ නිරත වීමට මෙන්ම සාමාන්‍ය දෛනික කටයුතු සිදුකර ගැනීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව ඇය පවසා තිබේ. ඒ අනුව, සිය ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කළ සංචාරක සමාගමෙන් වන්දි ලබාගැනීම සඳහා ඇය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. එම නඩුව මෙහෙයවීම සඳහා බ්‍රිතාන්‍යයේ නීතිඥ සමාගමක සහාය ලබාගෙන තිබේ.
කෙසේ වෙතත්, අදාළ නීතිඥ සමාගම විසින් නඩුවට අදාළ වැදගත් නීතිමය ලියකියවිලි වැරදි විද්‍යුත් තැපැල් ලිපිනයකට යොමු කිරීම හේතුවෙන් නියමිත කාලසීමාව තුළ ඒවා ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි
එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක සමාගමට එරෙහිව ඇය ගොනුකර තිබූ වන්දි නඩුව අසාර්ථක වී තිබේ. මෙම සිදුවීම හේතුවෙන් තමන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදුවූ බව පවසන ක්ලෙයාර් සේවෙල්, නඩුව නිසි ලෙස මෙහෙයවීමට අපොහොසත් වීම සහ වෘත්තීය නොසැලකිල්ල සම්බන්ධයෙන් අදාළ නීතිඥ සමාගමට එරෙහිව නව නඩුවක් ගොනු කර ඇත.
එම නඩුවෙන් ඇය ඉල්ලා සිටින වන්දි මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.5කි. මේ අතර, නීතිමය ලියකියවිලි යොමු කිරීමේදී තමන් අතින් අතපසුවීමක් සිදුවූ බව අදාළ නීතිඥ සමාගම පිළිගෙන ඇති බව ද සඳහන් වේ. කෙසේ වෙතත්, එම අතපසුවීම වෙනුවෙන් ඉල්ලා ඇති පවුම් මිලියන 4.5ක වන්දි මුදල ගෙවීමට සමාගම එකඟ වී නොමැති බව වාර්තා වේ.
ඒ අනුව, 2017 වසරේදී ශ්‍රී ලංකාවේදී සිදුවූ අනතුරකින් ආරම්භ වූ මෙම සිදුවීම, වසර කිහිපයකට පසු බ්‍රිතාන්‍ය නීතිඥ සමාගමකට එරෙහිව ගොනුකළ දැවැන්ත වන්දි නඩුවක් දක්වා වර්ධනය වී තිබේ.