ශ්‍රී ලංකාවේ සංචාරක ආදායමට මොකද වෙන්නේ? - මාස තුනක් එක දිගට ඉහළට ගිය ගමන ඔක්තෝබර් මාසයෙත් සුබයි
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මාසික විදේශ විනිමය ආදායම අඛණ්ඩව තෙවැනි මාසයටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, 2026 ඔක්තෝබර් මාසයේ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 192.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 3.5ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ දත්ත උපුටා දක්වමින් මහ බැංකුව මේ බව සඳහන් කර තිබෙනවා.
පසුගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ද පෙර වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 2.1කින් ඉහළ ගොස් ඇති බව අදාළ දත්තවල දැක්වෙනවා.
කෙසේ වෙතත්, 2026 වසරේ පළමු මාස 10 තුළ සමස්ත සංචාරක ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 8.3කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙම වසරේ පළමු මාස 10 තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුළු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,437.9ක් වන අතර, පසුගිය වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 2,659ක් ලෙස වාර්තා වී තිබුණා.
එමෙන්ම, මෙම වසරේ පළමු මාස 10 තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාවේ ද සියයට 1.5ක අඩුවීමක් පෙන්නුම් කරනවා.
මේ අතර, සංචාරක ආදායම ගණනය කිරීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේ මැයි මාසයේදී සංශෝධනය කර තිබෙනවා.
දෛනිකව එක් සංචාරකයෙකු වැය කරන සාමාන්‍ය මුදල සහ මෙරට රැඳී සිටින කාලසීමාව සම්බන්ධ ඇස්තමේන්තු සංශෝධනය කිරීමත් සමඟ 2025 ඔක්තෝබර් මාසයේ සිට සංචාරක ආදායමේ පහළ යාමක් වාර්තා වී තිබුණා.
මේ අතර, මෙම වසර සඳහා ශ්‍රී ලංකාව අපේක්ෂා කළ සංචාරක පැමිණීමේ ඉලක්කය මිලියන 3 සිට මිලියන 2.7 දක්වා සංශෝධනය කර ඇති අතර, අපේක්ෂිත ආදායම් ඉලක්කය ද ඇමෙරිකානු ඩොලර් බිලියන 5 සිට බිලියන 4.2 දක්වා පහළ දමා තිබෙනවා.
2025 වසරේදී මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුළු ආදායම ඩොලර් බිලියන 3.22ක්.
එය 2024 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 3.17ට සාපේක්ෂව සියයට 1.6ක වර්ධනයක්.
එම වසරේදී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ද සියයට 15.1කින් ඉහළ ගොස් තිබූ අතර, එම සංඛ්‍යාව 2,362,521ක් ලෙස වාර්තා වී තිබුණා.
2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයට සියයට 5කට ආසන්න දායකත්වයක් ලබාදුන් සංචාරක කර්මාන්තය, 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්වුණා.