අයවැයෙන් දීමනා නැහැ, නිලධාරීන් හිඟයි -පශු වෛද්‍යවරුන්ගෙන් දැඩි තීරණයක්

Report

 රාජ්‍ය සේවයේ පශු වෛද්‍ය නිලධාරීන් මුහුණ දී සිටින නිලධාරී හිඟය, ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම සහ සාධාරණ දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් නොවැම්බර් 17 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කර තිබේ.

රාජ්‍ය සේවය තුළ පශු වෛද්‍ය නිලධාරීන් 931 දෙනෙකු සේවයේ නිරත විය යුතු වුවද, මේ වන විට සේවයේ සිටින්නේ නිලධාරීන් 600කට ආසන්න පිරිසක් පමණක් බව එහි සභාපති උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කර ඇත.

 ඔහු පෙන්වා දුන්නේ නිලධාරීන් 931 දෙනෙකු විසින් ඉටු කළ යුතු රාජකාරි ප්‍රමාණය මෙම නිලධාරීන් පිරිස විසින් ආවරණය කරමින් සිටියද, ඒ වෙනුවෙන් රජය කිසිදු ඇගයීමක් හෝ සාධාරණ දීමනාවක් ලබාදීමට පියවර ගෙන නොමැති බවයි.

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

 2027 අයවැය සකස් කිරීමට පෙර අමතර රාජකාරි දීමනාවක් ලබාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කළද, අයවැය මඟින් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව  සභාපතිවරයා ප්‍රකාශ කරයි  .

පශු වෛද්‍ය නිලධාරීන්ට අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමිවන මූලික කාර්යාල පහසුකම් පවා නොලැබෙන තත්ත්වයක් පවතින බවද ඔහු පැවසීය. ඇතැම් ප්‍රදේශවල අබලන් කාර්යාලවල හෝ කුලී පදනම මත ලබාගත් ස්ථානවල සේවා පවත්වාගෙන යාමට සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද ක්ෂේත්‍ර රාජකාරි සඳහා ප්‍රමාණවත් නිල වාහන නොමැති වීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල පෞද්ගලික වාහන භාවිත කිරීමට හෝ ත්‍රිරෝද රථ කුලියට ගෙන රාජකාරි සඳහා ගමන් කිරීමට නිලධාරීන්ට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙරට ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ආයතනයක් බව පෙන්වා දුන් සභාපතිවරයා, එම අවශ්‍යතාවයෙන් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් කුඩා හා මධ්‍යම පරිමාණ ගොවි ජනතාව හරහා සැපයෙන බවද සඳහන් කළේය.

එම ගොවි ජනතාවට අවශ්‍ය සේවා සැපයීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන්ට බවත්, රටේ ආහාර සුරක්ෂිතතාවයට සෘජුවම දායක වන එවැනි වැදගත් සේවාවක් ඉටුකරන නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් ඔහු තව දුරටත් සදහන් කළේය.

ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි

ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි

මෙම ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ අමාත්‍ය ලාල්කාන්ත මහතාට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර ඇති නමුත්, ඒ සඳහා මෙතෙක් නිසි මැදිහත්වීමක් සිදුව නොමැති බවටද සංගමයේ සභාපතිවරයා චෝදනා කළේය.

මේ අතර, පශු වෛද්‍ය සේවයේ තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතින බවත්, නව නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ප්‍රමාණවත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, දැනට සේවයේ නිරත නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට පෙර සේවයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි.

නොවැම්බර් 17 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවද රජය සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, 2027 වසරට අදාළ සියලු සංවර්ධන වැඩසටහන්වලින් ඉවත්වීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවද උපුල් රංජිත් කුමාර මහතා අනාවරණය කළේය.

ඒ අනුව, පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්වලින් මෙන්ම රේඛීය අමාත්‍යාංශය, ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන්වලින්ද ඉවත්වීමට තීරණය කර තිබේ.

තවද, නොවැම්බර් මාසයේ සිට සියලු වාර්තා ඉහළ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම අත්හිටුවීමටත්, දේශපාලන මැදිහත්වීම් සහිත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඇතුළු රැස්වීම්වලට සහභාගී නොවීමටත් තීරණය කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.