LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්
එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයින්ගේ ගෑස් අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් වෙළෙඳපොළට ගෑස් තොග නිකුත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
උත්සව සමය ආසන්න වීමත් සමඟ වෙළෙඳපොළ තුළ ගෑස් සඳහා පවතින ඉල්ලුම ඉහළ යා හැකි බැවින්, පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොරව ගෑස් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙම පියවර ගෙන තිබේ. මේ අතර, නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ද එම සමාගම නිවේදනය කර ඇත.
ඒ අනුව, මේ මාසය තුළ දැනට පවතින මිල ගණන් යටතේම ලිට්රෝ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකියාව පවතී. උත්සව සමයේදී ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ මෙන්ම ආහාරපාන සකස් කිරීමේ කටයුතුවල නිරත ව්‍යාපාරික ස්ථානවල ද ගෑස් භාවිතය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි.
එවැනි පසුබිමක අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාමට සමාගම අවධානය යොමු කර තිබේ
කෙසේ වෙතත්, මේ අතරතුර LAUGFS ගෑස් සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත. එම මිල සංශෝධනය(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබේ.
ඒ අනුව, එක් සමාගමක් විසින් ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර, අනෙක් සමාගම මිල ඉහළ දැමීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ගෑස් මිල සම්බන්ධයෙන් වෙනස්කම් ඇති වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ උත්සව සමය සඳහා ගෑස් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට සමාගම් දෙකේ මිල ගණන් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.