කතානායකවරයා හිර වෙයි - පුවත්දූෂණ චෝදනා 08ක් ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්
පාර්ලිමේන්තු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බරපතල දූෂණ හා වංචා චෝදනා 8ක් ඇතුළත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වන පළමු අවස්ථාව ලෙස සැලකෙනවා.
පැමිණිල්ල ගොනු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි. ඔහු පසුගිය දින කිහිපයේදී (පෙබරවාරි 2 වැනිදා පමණ) මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත භාර දුන් බව වාර්තා වෙනවා.
චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ චෝදනා 8
- නීතිවිරෝධී ලෙස ද්විත්ව ඉන්ධන දීමනා ලබා ගැනීම.
- නිල වාහන පෞද්ගලික හෝ අවිධිමත් කටයුතු සඳහා යොදා ගැනීම.
- පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ උපකරණ අවභාවිතය.
- නිසි ගාස්තු ගෙවීමකින් තොරව පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගැනීම.
- නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත් කර, රජයේ අරමුදල්වලින් ඔහුට වැටුප් හා පහසුකම් සැපයීම
- නිල නිවාස දෙකක් අවභාවිත කිරීම
- තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ඉදිරිපත් වූ ඉල්ලීම්වලට බාධා කිරීම
- පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලන කටයුතුවලට නීතිවිරෝධී මැදිහත් වීම
කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ අවස්ථාවේදී මෙම පැමිණිල්ල සලකා බැලූ අතර, වහාම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කළා. මූලික පියවර ලෙස අදාළ ලේඛන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ගැනීම, ඒවා විශ්ලේෂණය කිරීම සහ කතානායකවරයාගෙන් මෙන්ම චමින්ද කුලරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.
මේ අතර, කතානායකවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කර තිබෙනවා. ඔවුන් කතානායකවරයා ධූරයෙන් තාවකාලිකව ඉවත් වී විමර්ශනයට සහයෝගය දිය යුතු බව අවධාරණය කර තිබුණා.