මාසෙට ලක්ෂ තුනහමාරක් - පිස්සු හැදෙන බැකෝ සමන්ගේ හෙළිදරව්ව
තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල - කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගත් බව බැකෝ සමන් අනාවරණය කර ඇත.
ඒ අනුව එම සභාපතිවරයා ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඉදිරි සතියේදී බස්නාහිර උතුර පළාත් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට සූදානම් කර ඇත.
කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තා මේවන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන අතර ඔහුට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට හැකි වී තිබේ.
ඒ අනුව මෙම බස් රථ දෙකෙන් එකක් කොළඹ - මොනරාගල මාර්ගයේ ධාවනය සඳහා බලපත්‍රයක් සකස් කර ගැනීම වෙනුවෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් තමාගෙන් රුපියල් ලක්ෂ තුනහමාර බැගින් අල්ලස් මුදලක් මාසිකව ලබාගත් බව වාර්තා වේ.
එම බලපත්‍රය ඉකුත් මාර්තු මාසයේ කල් ඉකුත් වී ඇති අතර එහිදී හිටපු සභාපතිවරයා බැකෝ සමන්ගේ පාර්ශ්වයට දන්වා ඇත්තේ''ප්‍රශ්නයක් වුණොත් මම බලාගන්නම් බස් එක දුවන්න '' ලෙසයි.
බැකෝ සමන් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මස්සිනා මෙම මුදල් ගනුදෙනු සියල්ල සිදුකර ඇති අතර ඒ අනුව පසුගිය මාසයේදී ද හිටපු සභාපතිවරයාගේ ගිණුමට එම මුදල බැර කර ඇති බව සඳහන් වේ.
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයාට එම තනතුර අහිමි වීමෙන් පසුවත් ඔහුට එම මුදල ලබාදුන් බවත් ඒ තමාට කළ උපකාරය වෙනුවෙන් බවත් බැකෝ සමන් පවසා ඇත.
මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු සභාපතිවරයා ඉදිරි සතියේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.