රුසියානු ඉදිකිරීම් ක්ෂේත්‍ර නියෝජිතයන් ශ්‍රී ලංකාවේ නව අවස්ථා ගවේෂණය කරයි
රුසියානු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන අවස්ථා ගවේෂණය කිරීමේ අරමුණින් මෙරට සංචාරයක නිරතව සිටී.
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිස ඊයේ (23) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා හමු වී තිබේ.
හමුවේදී අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර පවතින දිගුකාලීන සබඳතා අවධාරණය කරමින් ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජන සහ කුසලතා සහිත ශ්‍රම හුවමාරුව දෙරටටම ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙන බවද ඔහු සඳහන් කළේය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ හෝටල් සංවර්ධනය සහ සංචාරක යටිතල පහසුකම් ආයෝජන සඳහා පවතින අවස්ථා පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය (BOI) හරහා ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති පිළිබඳ ද කරුණු පැහැදිලි කළේය.
උප සභාපති ඇන්ටන් මොරොස්ගේ නායකත්වයෙන් පැමිණි මෙම දූත පිරිසට ප්‍රමුඛ රුසියානු ඉදිකිරීම් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ තාක්ෂණික විශේෂඥයින් ඇතුළු 24 දෙනෙකු අයත් වෙති.
සංචාරය අතරතුර නියෝජිත පිරිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟද සාකච්ඡා පවත්වා තිබේ.
එම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ යටිතල පහසුකම් ආයෝජන, නාගරික සංවර්ධන සහ ශ්‍රී ලාංකික ඉදිකිරීම් වෘත්තිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමේ හැකියාවන් සොයා බැලීමයි.