බොරැල්ලේ වෙඩි තැබීමේ සැකකරුවන් මෙන්න
බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේදී T56 වර්ගයේ ගිනිඅවි භාවිතයෙන් පුද්ගලයෙකු වෙත වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වෙත අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ 2025 ජුනි 4 වනදා වන අතර, කොළඹ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් සවිස්තර විමර්ශන පවත්වාගෙන යයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, මෙම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර සපයා ඇති බවට සැකපත්ව, බොරැල්ල සිරිසර උයන සහ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශවලදී සැකකරුවන් දෙදෙනා ඊයේ (04) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 18 සහ 19 වන අතර ඔවුන් බොරැල්ල හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පොලීසිය පවසන්නේ, මෙම වෙඩි තැබීම සිදුකළ යතුරුපැදියේ පැදිකරු ලෙස එක් සැකකරු කටයුතු කර ඇති බවයි. මේ වන විට මෙම අපරාධය සම්බන්ධයෙන් සැක පුද්ගලයින් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පවතී.
