වත්තක මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල , බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයගනී (PHOTOS)
යාපනය කොඩිකාමම් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයාගත් බව පොලීසිය පවසයි.
මන්දුවිල් උතුර ජේ. 346 ග්‍රාමයේ පිහිටි ඉඩමක හිමිකරුවකු එලිපෙහෙලි කරමින් සිටියදී පොළව යට වලදමා තිබූ ප්ලාස්ටික් බැරලයක් හමු වී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී එහි ආයුධ ඇති බව දැන ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට සහ 52 සේනාංකයේ යුදහමුදා කඳවුරට දැනුම්දීමට ඉඩම් හිමියා පියවර ගෙන ඇත.
අනතුරුව අදාල ස්ථානයට යුදහමුදාව සහ පොලීසිය පැමිණ ආයුධ සහිත බැරලය ගොඩට ගැනීමට පියවර ගත් අතර එහි තිබී ආයුධ රැසක් සොයාගෙන ඇත. යුද සමයේදී කොටි සංවිධානය මතු ප්‍රයෝජන සඳහා වළදමා ඇති බවටත් දිගුකලක් වලදමා තිබීම හේතුවෙන් ආයුධ බොහෝ සෙයින් දිරාපත්ව තිබූ බවටද පොලීසිය පැවසීය.
මරාගෙන මැරෙන බෝම්බ 07 ක්, කිලෝ 30 ක වෙඩි බෙහෙත් යෙදූ කෘතිම බෝම්බ කෑන් 2 ක්, අධි බලැති ක්ලෝමෝ බෝම්බ 03ක්, යුදටැංකි නාශක අධිබලැති පීඩන බෝම්බ 03 ක්, පුපුරණද්‍රව්‍ය කිලෝ 08 ක්, පුද්ගලනාශක බෝම්බ 23 ක්, ෆියුස් 23ක්, ආර්.පී.ජී. බෝම්බයක් සහ චාර්ජර් බෑග් එකක්, මිලිමීටර් 81 මෝටර් උණ්ඩයක්, ටී.56 මැගසින් 03 ක්, ටී.56 පතුරම් 517 ක්, බාර් ඇන්ටිටෑන්ක් එකක්, වයිර් මීටර් 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක්, හෝල්ඩර් 2ක්, පී.07 මාර්ක් 01 බ්‍රවුන්ඩින් 04 ක් මේ අතර තිබෙන බව ආරක්ෂක අංශ කියයි.
සොයාගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයක් ගෙන පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |

