කෙසෙල්ගමු ඔයේ ගිලී අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර ගැඹුරු වලක තිබී ගොඩ ගනියි
නෝර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ඊයේ (04) පස්වරුවේ අතුරුදහන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) උදෑසන සොයාගෙන තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෝර්වුඩ් අයර්බි දමිළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි, නෝර්වුඩ් වත්තේ පදිංචි සීදරන් වාගීෂන් නැමති සිසුවෙකි. ඔහු සිය මිතුරන් 11 දෙනෙකු සමඟ කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ "සිල්වර් වල" නම් ස්ථානයේ දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදහන් වී තිබුණි.
ඒ අනුව සිරුර සොයා ගැනීම සඳහා නෝර්වුඩ් පොලිසිය සහ ප්‍රදේශවාසීන් මුලින් දැඩි උත්සාහයක නිරත වූ අතර, පසුව එම ස්ථානයේ පවතින අධික ගැඹුර හේතුවෙන් කොළඹ වරාය රංගල නාවික කඳවුරේ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා සහාය ඇතිව ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු නෝර්වුඩ් පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.