''කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය පීලි පනිනවා බරපතළ අකාර්යක්ෂමතාවයක්'' - දුම්රිය ගැන බිමල්ගෙන් සැර කතාවක්
අද පාර්ලිමේන්තුවේදී රවී කරුණානායක මන්ත්‍රීවයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකාර්යක්ෂමතා සහ ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක කරුණු පැහැදිලි කළේය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දුම්රිය සේවයේ පවතින ප්‍රධාන ගැටලුවක් ලෙස තාක්ෂණික හිඟය හඳුනාගත හැකි බවත්, ඊට අමතරව දුම්රිය කාර්ය මණ්ඩලයේ ඇතැම් කණ්ඩායම් තුළද සැලකිය යුතු අකාර්යක්ෂමතාවක් පවතින බවත්ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. "දුම්රිය නිලධාරීන්ටත් මම කියලා තියෙනවා. මේ කොච්චිය මිස් කරගන්න එපා. මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව හදලා රට හදන්න යන්නේ. කරුණාකරලා මේ කොච්චියට එකතු වෙන්න කියලා. මම උදාහරණයක් ගත්තොත්, ඔබතුමා කියපු ඉලක්කම එහෙ මෙහෙ වුණත් ඇත්තක් තිබෙනවා. දුම්රිය දිනකට භාවිතයේ යෙදෙන දුම්රිය වාර ප්‍රමාණය සාමාන්‍යයෙන් 285ත් 300ත් අතර. දුම්රිය වාර ප්‍රමාණය ගත්තොත්, ඒක ඇත්තටම මීට කලින් 310, 340, 350ටත් වැඩි කාල තිබිලා තිබෙනවා. ඉතින් මේවා තිබෙන්නේ මේවා හරියාකාරව එන්ජින් නඩත්තු කරන්නේ නැති නිසා. අවුරුද්දකට දුම්රිය ප්‍රධාන එන්ජින් නවයක්, දහයක් හදලා දෙන්න ඕනෑ වුණත්, සමහර අවුරුදුවල දෙන්නේ දෙකයි, නැත්නම් හතරයි. මම අන්තිමට කනගාටු වෙනවා, ගරු කථානායකතුමනි. කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය පෙරළෙනවා. කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය පිළිපනිනවා. ඒ කියන්නේ ඒවායේ පැහැදිලිවම, මම හිතනවා, මම දන්නවා තියෙනවා බරපතළ අකාර්යක්ෂමතාවයක්. කළමනාකරණ ගැටලුවක් තිබෙනවා. ඒ සඳහා අපි මහන්සි වෙමින් ඉන්නවා. ඉතින් අපි හිතනවා, දුම්රියේ ඉන්න සාධාරණ, රටට ආදරය කරන නිලධාරීන් සහ සේවක මහත්වරු මේක තේරුම් අරගෙන මේක වෙනස් කරන්න ඉදිරිපත් වෙයි කියලා. ඒක ඇරෙන්න ඔවුන් හරහා මේක ගොඩනගනවා ඇරෙන්න, පුද්ගලීකරණය මම හිතන්නේ නැහැ උත්තරයක් කියලා."