''හොරකම් කරලා නාස්ති කරලා... අධිවේගී මාර්ග මම හිතන්නේ 10ක් විතර හදන්න තිබිච්ච ඒවා'' - බිමල් රත්නායකගෙන් ප්‍රකාශයක් [VIDEO]
රටේ පවතින ආර්ථික තත්ත්වය සහ අධිවේගී මාර්ග ඉදිකිරීම්වලට අදාළව දූෂණ හා ප්‍රමාද හේතුවෙන් දැරීමට සිදුව ඇති වියදම් සැලකිල්ලට ගනිමින්, මේ වන විට අධිවේගී මාර්ග ව්‍යාපෘති දෙකක් පමණක් සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිවේගී මාර්ග ඉදිකිරීම ජාතික ක්‍රම සම්පාදන හා සැලසුම් දෙපාර්තමේන්තුවේ එකඟතාව සහ අනුමැතිය මත සිදුකරන බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දිවයින පුරා පවතින A සහ B ශ්‍රේණියේ මාර්ග අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කිසිදු පළාත් භේදයකින් තොරව සිදුකරන බවයි.
විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ මාර්ග සංවර්ධනය සහ පාලම් ඉදිකිරීමේ කටයුතු ද ක්‍රියාත්මක වන බව පැවසූ ඔහු, අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා අධ්‍යයනය කර සලකා බැලීමෙන් අනතුරුව තීරණ ගන්නා බව ප්‍රකාශ කළේය.
පසුගිය පාලන සමයන්හි සිදුවූ බව කියන දූෂණ සහ ව්‍යාපෘති ප්‍රමාද හේතුවෙන් අධිවේගී මාර්ග ඉදිකිරීම් සඳහා විශාල අමතර වියදම් දැරීමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය.
"එකම දේ දැනට අපි සැලසුම් කරලා තිබෙන්නේ මේ අධිවේගී මාර්ග දෙක. ඉතින් රට බංකොලොත් වෙලා නොතිබුණා නම්, සමහරවිට හොරකම් කරලා නාස්ති කරලා ... අධිවේගී මාර්ග මම හිතන්නේ එක 10ක් විතර හදන්න තිබිච්ච ඒවා මන්ත්‍රීතුමා, කලින් ඔබතුමාලගේ නායකයෝ ඡන්දේ දීපු පක්ෂ වලින් ගිලලා තියෙන්නේ ."
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළව වංචා සහ ප්‍රමාද ගාස්තු හේතුවෙන් රුපියල් බිලියන 180කට ආසන්න මුදලක් වැය වී ඇති බවට ද ඔහු ප්‍රකාශයක් කළේය.
එමෙන්ම, රටේ පැවති ආර්ථික බංකොලොත්භාවය සහ පෙර පැවති ව්‍යාපෘතිවලට අදාළ ගැටලු නොතිබුණේ නම් තවත් අධිවේගී මාර්ග ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අදාළ මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, අධිවේගී මාර්ග සම්බන්ධයෙන් අසත්‍ය පොරොන්දු ලබාදීමට තමන් සූදානම් නොමැති බවයි.