ඩොලර් බිලියන ගණනක් රට පටවපු ජාවාරම හෙළිවෙයි - බැංකු හා රේගුවේ නව පරීක්ෂණ ක්‍රමවේදයක්
ආනයන සඳහා අත්තිකාරම් මුදල් ලෙස ඇමරිකානු ඩොලර් 50,000 බැගින් අවස්ථා කිහිපයකදී විදේශගත කරමින්, ඊට අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වීමකින් තොරව සිදුකළ මහා පරිමාණ විදේශ විනිමය අවභාවිතයක් ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
එකම පුද්ගලයන් විවිධ බැංකු සහ සමාගම්වල නම් භාවිත කරමින් මෙම ගනුදෙනු සිදුකර ඇති බවයි හෙළි වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත්තේ, මුදල් අමාත්‍යාංශයේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයක් යටතේ සිදුකර ඇති මෙම විදේශ විනිමය පිටතට ගලායාම් සම්බන්ධයෙන් විදේශ විනිමය දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන සිදුකරන බවයි.
නුවරඑළියේ අවදානම් මාර්ගවල යන එන අයට සුබ ආරංචියක් - ප්‍රපාත අද්දර මාර්ගවලට ආරක්ෂිත යකඩ වැටක් සවි කිරීම ඇරඹේ
ඩොලර් බිලියනයක මුදල් පිටතට ගලායාමක් පිළිබඳ විමර්ශන
මෙම අනාවරණය සිදුවන්නේ නීතිවිරෝධී ලෙස මෙරටින් විදේශ විනිමය පිටතට යැවීම සම්බන්ධයෙන් සිදුකරන පුළුල් විමර්ශනයක් අතරතුරයි.
2026 වසරේ ජුනි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ, 2023 වසරේ සිට භාණ්ඩ මෙරටට ගෙන්වීමකින් තොරව ආනයන අත්තිකාරම් ලෙස විදුලි පණිවුඩ මුදල් හුවමාරු (Telegraphic Transfers - TT) ක්‍රමය ඔස්සේ ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් රටින් පිටතට යවා ඇති බවට විමර්ශන සිදුකරන බවයි.
එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්, දූෂණ සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ මුදල් බවටද ඔහු එහිදී කරුණු අනාවරණය කළා.
මෙම ගනුදෙනුවලට ඇතැම් බැංකු ශාඛා සහ බැංකු කළමනාකරුවන් සම්බන්ධ බවටද චෝදනා එල්ල වී තිබුණා.
ඩොලර් 50,000ක අත්තිකාරම් ක්‍රමය අවභාවිත කළ ආකාරය
මීට පෙර ක්‍රියාත්මක වූ මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛය යටතේ ආනයනකරුවන්ට වාණිජ බැංකුවක් වෙත ඉන්වොයිසියක් ඉදිරිපත් කර ආනයන අත්තිකාරම් ලෙස ඩොලර් 50,000ක් දක්වා මුදලක් විදේශගත කිරීමට අවසර හිමිව තිබුණා.
එලෙස මුදල් යැවීමෙන් පසු අදාළ ගනුදෙනුව රේගුවේ ASYCUDA පද්ධතියේ සටහන් වන අතර, දින 180ක් හෙවත් මාස හයක් ඇතුළත අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වීම ආනයනකරුගේ වගකීමක් වනවා.
එම කාලය තුළ භාණ්ඩ මෙරටට නොපැමිණියේ නම්, ඒ පිළිබඳ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම රේගුවේ වගකීම වුවත්, අවස්ථා ගණනාවකදී එම තොරතුරු නිසි පරිදි ලබාදී නොතිබූ බව අනාවරණය වී තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ නීති උල්ලංඝනය කළ සමාගම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.
විවිධ සමාගම්වල නම්වලින් එකම පුද්ගලයන් ගනුදෙනු කරලා
වාණිජ බැංකු මට්ටමින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එකම පුද්ගලයන් විවිධ සමාගම්වල නාමයන් භාවිත කරමින් බැංකු ශාඛා කිහිපයකට ගොස් නැවත නැවතත් ඩොලර් 50,000 බැගින් විදේශගත කර ඇති බවයි.
ඉන්වොයිසියක් ඉදිරිපත් කළ විට මුදල් නිදහස් කිරීමට බැංකුවලට සිදුවන අතර, භාණ්ඩ මෙරටට පැමිණ තිබේද යන්න තහවුරු කරගත හැකි වන්නේ දින 180ක කාලය අවසන් වූ පසුවයි. එම නිසා මෙම ක්‍රමය යටතේ සිදුකළ අවභාවිතය මාස ගණනාවක් යනතුරු හඳුනාගැනීමට නොහැකි වී තිබෙනවා.
නව නීති සහ දැඩි පරීක්ෂණ ක්‍රමවේදයක්
මෙම අක්‍රමිකතා සඳහා පැවති අවස්ථාවන් වසා දැමීමේ අරමුණින් ආනයන අත්තිකාරම් මුදල් ලබාදීමේ ක්‍රියාවලියට නව නීති සහ දැඩි පාලන ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ආනයන අත්තිකාරම් මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව සඳහන්.
එමෙන්ම මුදල් නිදහස් කිරීමට පෙර ආනයනකරු කවුරුන්ද, සමාගමේ සැබෑ ප්රතිලාභ හිමිකරු කවුරුන්ද, සමාගමට පෙර වංචා හෝ අක්‍රමිකතා සම්බන්ධ වාර්තා තිබේද යන්න ඇතුළු කරුණු පිළිබඳ පුළුල් පසුබිම් පරීක්ෂාවක් සිදුකිරීමටද නව රෙගුලාසි මඟින් නියම කර තිබෙනවා.
තවත් විශේෂ පියවරක් ලෙස, එක් බැංකුවකින් ආනයන අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇති පුද්ගලයෙකු වෙනත් බැංකුවකින්ද එවැනිම මුදලක් ලබාගැනීමට උත්සාහ කරන්නේද යන්න පරීක්ෂා කළ හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම සිදුවීම් වංචා ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් නීතිමය පියවර ගැනීමද ආරම්භ කර ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ලියාපදිංචි සමාගම් සම්බන්ධ උල්ලංඝනයන් පිළිබඳ පියවර ගැනීම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර, අනෙකුත් සමාගම් සම්බන්ධයෙන් රේගුවෙන් තොරතුරු ලැබුණු පසු මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා.
දැනටමත් මීට පෙර අනාවරණය වූ සිද්ධීන්වලට සහ පසුව හඳුනාගත් අමතර සිද්ධීන්වලට සම්බන්ධ සමාගම් විශාල සංඛ්‍යාවකට දඩ මුදල් පනවා ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.